2027දී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේදී ආරම්භ කළ 1 ශ්‍රේණිය සඳහා වන නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වසරේදී ආරම්භ කර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2023 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද ජාතික විෂයමාලා රාමුව පසුව තවදුරටත් සංශෝධනය කර තිබෙනවා.
එම සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සහ ආයතන සභාවේ අනුමැතිය ලබාගෙන ඇති අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ එකඟතාවද 2026 අගෝස්තු 13 වැනිදා ලබාගෙන තිබෙනවා.
2027 වසරේදී 1 සහ 2 ශ්‍රේණි සඳහා වාර තුනටම අදාළ ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කර සූදානම් කිරීමටත්, 6 ශ්‍රේණිය සඳහා වාර තුනට අදාළ මොඩියුල සහ ගුරු මාර්ගෝපදේශ සකස් කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ සියලුම විෂයයන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කර ඇති අතර, පළාත් මට්ටමින් ගුරු පුහුණු කටයුතු සඳහා අවශ්‍ය සැලසුම්ද සකස් කර තිබෙනවා.
ඒ අනුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කළ සංකල්ප පත්‍රිකාව, අනුමත කළ ජාතික විෂයමාලා රාමුව සහ පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණ මාර්ගෝපදේශය මත පදනම්ව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
