හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඔහු අද (සැප්: 21) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අධිකරණය හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව, අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

පමා වී පැමිණෙයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ස්වල්ප වේලාවකට පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ වාහනයේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට නිසි වෙලාවට අධිකරණය පෙනී සිටීමට නොහැකි වූ බව පැවසීය.

ඒ අනුව, ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ, මෙම ඉල්ලීම හෙට දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *