රාජ්‍ය සේවා 80%ක් නිවසේ සිටම ලබාදීමට ජනපතිගෙන් රු. බිලියන 30ක සැලසුමක්

0

​ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කරන බවත්, ඒ යටතේ රාජ්‍ය සේවාවලින් 80%ක් පමණ ජංගම දුරකථන ඔස්සේ නිවසේ සිටම ලබාගැනීමට පහසුකම් සලසන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

​බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ඉදිරි අයවැයෙන් රුපියල් බිලියන 30ක් වෙන් කිරීමට නියමිත අතර, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 4G තාක්ෂණය ව්‍යාප්ත කිරීමටද පියවර ගන්නා බවයි.

​ජනාධිපතිවරයා විසින් අනාවරණය කළ ප්‍රධාන තොරතුරු 7ක් මෙසේය:

​1.ඩිජිටල්කරණයට රු. බිලියන 30ක්
රට ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන සඳහා ඉදිරි අයවැයෙන් රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කරනු ලබයි.

​2.රාජ්‍ය සේවාවලින් 80%ක් නිවසේ සිටම
රාජ්‍ය ආයතන වෙත රක්ෂියාමකින් තොරව, ජංගම දුරකථනය භාවිත කරමින් රාජ්‍ය සේවාවලින් 80%කට ආසන්න ප්‍රමාණයක් නිවසේ සිටම ඉටුකර ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවේ.

​3.උප්පැන්න සහ මරණ සහතික අන්තර්ජාලයෙන්
නව පද්ධතිය යටතේ උප්පැන්න සහ මරණ සහතික ලබාගැනීමේ සේවාවන් ඩිජිටල්කරණය කෙරෙන අතර, නිවසේ සිටම අදාළ කටයුතු සිදු කරගත හැකිය.

​4.ඉඩම් ඔප්පු සේවා ඩිජිටල්කරණය
ඉඩම් ඔප්පුවලට අදාළ සේවාවන් සහ ගනුදෙනු ද නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සැලසේ.

​5.වාහන ආදායම් බලපත්‍ර මාර්ගගත ක්‍රමයට (Online)
රාජ්‍ය සේවා පරිවර්තනයේ තවත් පියවරක් ලෙස වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට අදාළ කටයුතු ද ඩිජිටල් ක්‍රමවේදයට සිදු කළ හැක.

​6.අලුතින් 4G සංඥා කුලුනු 1,000ක්
දිවයින පුරා 4G සංඥා ආවරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ඉදිරි වසර 3 ඇතුළත නව 4G කුලුනු 1,000ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත.
​ලබන වසරේදී කුලුනු 250ක්
සැලසුම් කළ කුලුනු 1,000න් පළමු අදියර ලෙස කුලුනු 250ක වැඩකටයුතු ලබන වසරේදී අවසන් කිරීමට නියමිතය.

​7.නව අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග විදුලිබලයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළු රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස ජනාධිපතිවරයා මෙම ඩිජිටල්කරණ වැඩසටහන හඳුන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *