තරුණ සංවර්ධන පළමු ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් 16-17 අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්

0

තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 16 සහ 17 දෙදින තුළ අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
සමුළුව සැප්තැම්බර් 16 වැනිදා රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී උදෑසන 9ට ආරම්භ වන අතර, එදින සවස හා 17 වැනිදා දවස පුරා විද්වත් සංවාද හා සාකච්ඡා මණ්ඩප පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ පිළිබඳ දැනුවත් කිරීමට මාධ්‍ය සාකච්ඡාවක් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ඒකාබද්ධව ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු විභවතාවයන් හදුනාගනිමින්, ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් හා තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය දත්ත ලබා ගැනීමේ අරමුණින් තරුණ සංවර්ධන පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව සංවිධානය කරනු ලබයි.

විශ්ව විද්‍යාල සිසුන් (උපාධි / පශ්චාත් උපාධි), ස්වාධීන පර්යේෂකයන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තරුණ සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා දායක විය හැකි අවස්ථාව ලබාදී තිබූ අතර, තරුණ පර්යේෂකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මේ සදහා සිය සාරාංශ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබුණි. සමුළුවේ දී පර්යේෂණ පත්‍රිකා 67ක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අතරින් තෝරාගත් තරුණ පර්යේෂකයින් 40 දෙනෙකු සදහා රුපියල් 25,000 බැගින් වූ පර්යේෂණ දිරි දීමනාවක් ලබා දීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගිය දා සිදු කෙරුණි.

සමුළුවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා විසින් සිදු කිරීමට නියමිත අතර, පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන තරුණ තරුණියන් 500කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සමුළුව සඳහා සහභාගී වීමට ලියාපදිංචි වී සිටියි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ඉදිරි තරුණ සංවර්ධන කටයුතු පර්යේෂණ මත පදනම්ව සිදු කරන බවයි. මෙම වැඩසටහන හරහා තරුණ පර්යේෂකයින් දිරිමත් කිරීම සිදුවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය තරුණයින් සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනයේදී ද ඉහවල් වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේය. ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී ද පර්යේෂණ ක්ෂේත්‍රය විශාල ලෙස දායක වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය එස් එන් මොරායස් මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආචාරිය තුෂාරි ගමගේ යන මහත්ම මහත්මිහු සහභාගී වූහ.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *