තෙල්දෙනිය වික්ටෝරියා ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් පොලීසියෙන් වටලයි
සැප්තැම්බර් 05 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් වටලා තෙල්දෙනිය, වික්ටෝරියා ප්‍රදේශයේදී පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරකට අනුව තෙල්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම මෙහෙයුමේදී පිරිමි පුද්ගලයින් 36 දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එහිදී ගංජා මිලිග්‍රෑම් 947 ක්, හෂීස් ග්‍රෑම් 3.657 ක්, අයිස් (ICE) නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.276 ක්, මත්පෙති 18 ක් සහ නීතිවිරෝධී දුම්වැටි 21 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව මිලිලීටර් 500 ප්‍රමාණයේ බියර් පෝච්චි 35 ක් සහ මිලිලීටර් 750 ප්‍රමාණයේ අරක්කු බෝතල් 13 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
වයස අවුරුදු 21 ත් 40 ත් අතර පසුවන සැකකරුවන් ගෙලිඔය, අලුත්වත්ත, වරකාපොළ, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර සහ හඟුරන්කෙත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
වයස අවුරුදු 22 ත් 43 ත් අතර පසුවන අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා පල්ලෙකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචිකාරියන් ය.
තෙල්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
