22 සංශෝධන පෙත්සම්: පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවත් ය.
මෙම පෙත්සම් අද විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මෙම ඉල්ලීම කළේ ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන් අසුන්ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු එය ඉල්ලා සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේ ය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශවයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේ ය.
අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන බව පෙන්වා දෙන ලදි.
