ග්‍රෙගරි වැවේ ජල දූෂණයට තිරසාර විසඳුම් සෙවීමට විශේෂ නිරීක්ෂණයක්

0
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල දූෂණය පාලනයට කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක්

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල දූෂණය පාලනයට කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක්

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව මතුව ඇති ජල දූෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට අදාළව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ ඒකාබද්ධ සාකච්ඡාවක් සිදු කෙරිණ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ජයකොඩි මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඇතුළු වාරිමාර්ග, ජල සම්පාදන සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ඇතුළු අදාළ රාජ්‍ය ආයතන නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙහි දී නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය, නුවරඑළිය මහ නගර සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කළමනාකරණ කමිටුවක් (Management Committee) පත් කර, කෙටි කාලීන විසඳුම් ඇතුළත් කඩිනම් යෝජනාවලියක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහාත්, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා නගරයේ අපජලය වැවට එක්වීමට පෙර ස්වාභාවිකව පිරිපහදු වන පොකුණු 13 ක පද්ධතිය නැවත සක්‍රීය කිරීම සඳහා තීරණය කරන ලදී.

ස්වාභාවික වාතනය (Natural Aeration) ඉහළ නංවා, ස්වාභාවික පෙරණ ක්‍රම මඟින් ජලයේ දුර්ගන්ධය ඉවත් කර නයිට්‍රජන් සහ පොස්පරස් වැනි සාන්ද්‍රණයන් අවම කිරීමටත්, නුවරඑළිය නගරයේ මලාපවහන පද්ධතිය (Sewerage system) සහ අනෙකුත් අපද්‍රව්‍ය වැවට එක්වීම වැළැක්වීම සඳහා වන දීර්ඝකාලීන ව්‍යාපෘති යෝජනා කඩිනමින් සැකසීම සඳහාත් මෙහි දී යෝජනා විය.

ග්‍රෙගරි වැව පරිශ්‍රය ආරක්ෂා කරගනිමින් සංචාරක ආකර්ෂණය සුරැකෙන පරිදි මෙම කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් සියලු රාජ්‍ය ආයතනවල පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com