හයිටියේ අගනුවර සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් 47ක් මියයයි: 22කට තුවාල
හයිටියේ සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් 47ක් ජීවිතක්ෂයට
හයිටියේ පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවර සන්නද්ධ කල්ලි සිදු කළ ප්‍රහාරයකින් 47 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවරට ආසන්න කෙන්ස්කොෆ් ප්‍රදේශයට එල්ල වූ සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් මෙලෙස පුද්ගලයන් 47 දෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
කෙන්ස්කොෆ් ප්‍රදේශය පසුගිය වසරේ සිට සන්නද්ධ කල්ලිවල ප්‍රහාර රැසකට මුහුණ දී ඇති අතර, එම ප්‍රහාර හේතුවෙන් දහස් ගණනක ජනතාවට සිය නිවාසවලින් පලා යාමට සිදුව තිබේ.
ප්‍රහාරය සිදුව ඇත්තේ පොලිස් ස්ථානයකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන් ජනතාව දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තමන් ආරක්ෂා කිරීමට රජය සහ පොලිසිය අපොහොසත් වී ඇති බවයි.
එමෙන්ම ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවටද ජනතාව ඉල්ලා තිබෙනවා.
මේ අතර, හයිටි රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශයේ ආරක්ෂාව ශක්තිමත් කරමින් රාජ්‍ය අධිකාරිය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.






