සුහුරුපායේ පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වෙයි: මහජනතාවට අඛණ්ඩ සේවයක් දීමට තාවකාලික විකල්ප ක්‍රමවේදයක්
පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්
බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයේ දත්ත පද්ධතියේ හදිසි අක්‍රිය වීමක් හේතුවෙන්, මහජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව සිය සේවාවන් අඛණ්ඩව ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
සුහුරුපායේ 17වන මහලේ පිහිටි මෙම අංශයේ දත්ත පද්ධතිය මගින් අයදුම්පත් කැඳවීම සහ මුද්‍රණය කිරීම සිදුකළ ද, පද්ධතිය යථා තත්ත්වයට පත් වන තෙක් මෙම විකල්ප ක්‍රමය ක්‍රියාත්මක වේ.
ඒ අනුව, පහසුවෙන් පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස, එහි ඇති “Download Application” ඔස්සේ අදාළ අයදුම්පත භාගත කරගත හැකිය.
එලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ (Passport) පැහැදිලි ඡායා පිටපත් සමඟ පොලිස් මූලස්ථානය විසින් නම් කර ඇති නිල විද්‍යුත් ලිපිනය වෙත යොමු කිරීම මගින් මෙම තාවකාලික සේවාව ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.




