ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ප්‍රමුඛ නියෝජිත පිරිසක් භූතානයේ නිල සංචාරයක: එරට මහාධිකරණය හමුවේ විශේෂ දේශනයක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ භූතාන නීති කවුන්සිලය අතර ද්විපාර්ශ්වික හමුවක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් භූතාන රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී තිබේ.
භූතාන අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් එරට මහාධිකරණය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීම මෙහි විශේෂත්වයකි.
භූතාන මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ඩුබා ඩෘප්කා (Duba Drukpa) මහතා ඇතුළු විනිසුරුවරුන් 8 දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණි.
භූතාන මහාධිකරණය හමුවේ අදහස් දැක්වූ රජීව් අමරසූරිය මහතා, ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ගැඹුරු ආගමික, සංස්කෘතික සහ දකුණු ආසියාතික සබඳතා මෙන්ම බුදු දහමින් පෝෂණය වූ උරුමය සිහිපත් කර තිබේ.
විනිසුරුවරුන් සහ නීතිඥවරුන් යනු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දෙපැත්තක් බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය යනු වරප්‍රසාදයක් නොව අවසානයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින අයිතියක් බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.
මෙම සංචාරයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ භූතාන නීති කවුන්සිලය අතර පළමු ඓතිහාසික ද්විපාර්ශ්වික හමුව පවත්වා ඇති අතර, එහිදී නීති අධ්‍යාපනය, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික හුවමාරු කරගැනීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයකට එළඹ ඇත.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිස, භූතාන අගවිනිසුරු ලියොන්පෝ නොර්බු ෂෙරිං (Lyonpo Norbu Tshering) සහ නීතිපති සොනම් ටෂි (Sonam Tashi) යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සංචාරය දෙරටේ නීති වෘත්තිකයන් අතර වෘතීමට සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




