නඩු ප්‍රමාදයට විසඳුමක් ලෙස සමථ මණ්ඩල ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් මිලියන 800ක්

0
සමථ මණ්ඩල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රු. මි 800ක ප්‍රතිපාදන

සමථ මණ්ඩල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රු. මි 800ක ප්‍රතිපාදන

අධිකරණ පද්ධතියේ පවතින දැඩි නඩු ප්‍රමාදයට විසඳුමක් ලෙස සමථ මණ්ඩල ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 800කට අධික මුදලක් වෙන් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.

අද (14) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති 36වන ජාතික සමථ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යම් ආරවුලක් ඇති වූ වහාම අධිකරණයට යොමු වීමට පෙර සාමකාමීව විසඳා ගැනීමේ අවස්ථාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමයි.

වාර්ෂිකව සමථ මණ්ඩල වෙත යොමුවන ආරවුල් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයෙන් 75%කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව නිරාකරණය වන බවත්, එසේ නොවන්නට එම නඩු ප්‍රමාණයද අධිකරණ පද්ධතිය මත ගොඩගැසෙන බවත් හෙතෙම සඳහන් කලේය.

මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරමින් විධිමත් කිරීම සඳහා ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් (Dispute Data Management System) ස්ථාපිත කිරීමටත්, විශේෂ ඉඩම් සමථ මණ්ඩල දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්ත කිරීමටත් පියවර ගෙන තිබේ.

මීට අමතරව කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06 තුළ විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල පිහිටුවීමටයි කටයුතු යොදා ඇත්තේ.

දිවයින පුරා පවතින ප්‍රජා සමථ මණ්ඩල 332ක් සහ විශේෂ සමථ මණ්ඩල 31ක් හරහා කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තොරව කැපවෙන 9,000කට අධික ස්වේච්ඡා සමථකරුවන්ගේ සේවය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

එමෙන්ම, වාණිජ හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා නව “සිවිල් සහ වාණිජ ආරවුල් සමථකරණ පනතක්” (Mediation – Civil and Commercial Disputes Act) හඳුන්වා දීමටද අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් ආරම්භ වූ මෙම ක්‍රියාවලිය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථයන්හි 16 වැනි ඉලක්කය වන ‘සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන ගොඩනැගීම’ (SDG 16) සාක්ෂාත් කර ගැනීම සඳහා සෘජු දායකත්වයක් සපයන බවද මෙම උත්සවයට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය ප්‍රකාශ කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com