​විභාග අක්‍රමිකතා චෝදනා මත කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පාලනාධිකාරියට එරෙහිව ලක්ෂ 50ක වන්දි නඩුවක්

0
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලමින් සිසුවෙක් නඩු

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලමින් සිසුවෙක් නඩු

විභාග අක්‍රමිකතා හේතුවෙන් තම කාලය, ශ්‍රමය සහ මුදල් අපතේ ගිය බවට චෝදනා කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරූ ශිෂ්‍යයෙකු එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.

නුගේගොඩ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම නඩුව මගින් අදාළ ශිෂ්‍යයා පවසන්නේ, තමන් මුලින් විභාගයෙන් අසමත් බව දැනුම් දුන් නමුත් පසුව කිසිදු විභාගයක් නොපවත්වාම සමත් බවට දැනුම් දී උපාධි ප්‍රදානෝත්සවයක්ද පවත්වා ඇති බවයි.

එලෙස කිසිදු විභාගයකට පෙනී නොසිටියදී සිසුන් පසුව සමත් කළේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තමන්ට මෙතෙක් සාධාරණ පැහැදිලි කිරීමක් ලබාදී නොමැති බවද ඔහු චෝදනා කරයි.

එමෙන්ම, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් සිසුවෙකු මාර්ගයෙන් තමන්ගෙන් රුපියල් 80,000ක මුදලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටි බවත්, කථිකාචාර්යවරුන්ට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් සමඟ අමනාපයෙන් සිටි පිරිසක් තමන්ව විභාගයෙන් අසමත් කළ බවත් ශිෂ්‍යයා සිය නඩුවෙන් පෙන්වා දී තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්, අංශ ප්‍රධානීන්, පීඨාධිපතිවරයා, විභාග අංශයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් උපකුලපතිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *