ඉන්දියාවේ “කූෂා” ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය පළමු වරට අත්හදා බලයි
ඉන්දියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
වසර 2035 වන විට බැලැස්ටික් මිසයිල, ප්‍රහාරක ගුවන්යානා, ඩ්‍රෝන යානා සහ වෙනත් තර්ජනවලට එරෙහිව ජාතික ආරක්ෂක පද්ධතියක් ගොඩනැඟීම අරමුණු කරමින් ඉන්දියාව පළමුවරට කූෂා නමින් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලා ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
ඉන්දියාවට දේශීය ගුවන් ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීමට සහ අනාගත යුදමය අභියෝගවලට මුහුණ දීමට එම මිසයිල පද්ධතිය වැදගත් සංධිස්ථානයක් වනු ඇතැයිද අනාවැකි පළ වී තිබේ. ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් නිපදවනු ලැබූ කූෂා ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ‘සුදර්ශන චක්‍ර‘ මෙහෙයුමේ ප්‍රධාන අංගයක් වනු ඇතැයි එම සංවිධානයේ අපේක්ෂාව වී තිබේ.
පසුගියදා සිදු කර ඇති කුෂා ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියේ අත්හදා බැලීම් සාර්ථක සිදුවූ බවට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය ප්‍රකාශ කර ඇති අතර, එමඟින් රුසියාවේ එස්-400 වැනි ආනයනික මිසයිල පද්ධති මත ඉන්දියාව තවදුරටත් රැඳී නොසිටිනු ඇතැයි වාර්තා වේ.
යුක්රේන යුද අර්බුදය හේතුවෙන් රුසියාවට මතුවී ඇති යුදමය අවශ්‍යතා මත එම මිසයිල ඉන්දියාවට ලබාදීම මෙතෙක් ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඩ්‍රෝන හා මිසයිල ව්‍යාප්තියත් සමඟ පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනයත් ඉහළ ගොස් ඇති බැවින් ඉන්දියාවට ස්වකීය ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් පවත්වා ගැනීම අතිශය වැදගත් වී ඇති අතර, නව මිසයිල ආරක්ෂක පද්ධතිය වසර 2028 සහ 2030 අතර කාලයේදී අදියර කිහිපයකින් ජාතික ආරක්ෂක ජාලයට එක් කිරිමට නියමිත බව වාර්තා වේ.
