ඇමෙරිකා – ඉරාන ගැටුමෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය රත්වෙයි: ලෝක බොරතෙල් මිල බැරලයක් ඩොලර් 90 සීමාව ඉක්මවයි!
අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින ගැටුම් හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමත් සමඟ ලෝක බොරතෙල් මිල සඳුදා මාසයකට වැඩි කාලයක ඉහළම මට්ටමට ළඟා වී තිබේ.
ජාත්‍යන්තර මිණුම් දණ්ඩ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවූ අතර, පසුගිය සතියේ එහි මිල 15.9%කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. WTI බොරතෙල් මිලද බැරලයක් ඩොලර් 83 ඉක්මවා ඉහළ ගොස් තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් පිපිරීම් හේතුවෙන් නතර වී ඇති අතර, LSEG දත්ත අනුව, ඉරිදා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා සංඛ්‍යාව 4 දක්වා පහත වැටී ඇති අතර, ඊට පෙර දිනයේ එය 8ක් ලෙස වාර්තා වී තිබුණි.
මේ අතර, අමෙරිකාව ඉරාන වරායන්ට එරෙහි නාවික අවහිර කිරීමක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික නීති උල්ලංඝනය කරන නෞකා ඉලක්ක කරන බව ඉරානයද පවසයි.
විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ, අමෙරිකා–ඉරාන සටන් විරාමය බිඳ වැටීමත් සමඟ ලෝක බලශක්ති සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාව යළිත් ඉහළ ගොස් ඇති බවයි. ඉරානයේ යුද්ධයට පෙර ලෝක බොරතෙල් සැපයුමෙන් සියයට 20ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණු බවද සඳහන් වේ.





