​‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්!

0
රටම එකට‘ මෙහෙයුමට මාස 8යි; කුඩුත් එක්ක අවු 21ට අඩු 8,459ක් අත්අඩංගුවට; ගැහැනු ළමයින් 161ක්; බිලියන 1.5ක නීතිවිරෝධි වත්කම් තහනම්

රටම එකට‘ මෙහෙයුමට මාස 8යි; කුඩුත් එක්ක අවු 21ට අඩු 8,459ක් අත්අඩංගුවට; ගැහැනු ළමයින් 161ක්; බිලියන 1.5ක නීතිවිරෝධි වත්කම් තහනම්

මත්ද්‍රව්‍ය විරෝධි ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවූ මාස 8ක් තුළ සැකකරුවන් 230,248ක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධි වත්කම් රුපියල් බිලියන 1.5ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

අවුරුදු 21ට අඩු වයස්වල පසුවන්නන් 8,459 දෙනකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරින් 161 දෙනකුම ගැහැනු දරුවන් බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පවසයි. මවුපියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මවුපියන් විදේශගත වීම සහ අධ්‍යාපනික අසමත්වීම් නිසා ඇති වන මානසික බිඳවැටීම් මෙම දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමට ප්‍රධාන හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන ‘රටම එකට‘ ජාතික මෙහෙයුමට අදාළව ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හා ශ්‍රී ලංකා රේගුවේ දායකත්වය සහ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්(16) කොළඹ -07, විජේරාම මාවතේ පිහිටි ‘රටම එකට‘ ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

එහිදී ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධි ජාතික මෙහෙයුම මේ වන විට සාර්ථක ලෙස මාස අටක කාලයක් සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකා පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නාවික හමුදාව, රේගුව සහ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම දැවැන්ත මෙහෙයුම් මාලාව පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා විසින් මෙහිදී විශේෂ අනාවරණ රැසක් කරනු ලැබීය.

සැකකරුවන් 74,619ක් සමඟ හෙරොයින් කිලෝ 2,248ක්, අයිස් මත්ද්‍රව්‍ය (මෙතම්පිටමින්) සමඟ සැකකරුවන් 8,956ක් සමඟ කිලෝ 2,608ක්, පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආශ්‍රිතව සිදු කළ වැටලීම් ඇතුළුව කළ වැටලීම්වලින් සැකකරුවන් 51,490ක් සමඟ ගංජා කිලෝ 7,481ක්, සැකකරුවන් 2,001ක් සමඟ කොකේන් කිලෝ 289ක්, මත්පෙති 3,564,519ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කුෂ් කිලෝ 1,636ක් සහ හෂීස් කිලෝ 349ක්, අත්අඩංගුවට ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට සමගාමීව, ජාවාරම්කරුවන් උපයාගත් නීතිවිරෝධි වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව පුද්ගලයින් 368 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන අතර, දැනට තහනම් කර ඇති මුදල්, රත්රන් සහ ඉඩකඩම් ඇතුළු දේපළවල වටිනාකම රුපියල් බිලියන 1.5 ඉක්මවයි. මීට අමතරව, ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 989 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 18-21 අතර තරුණයන් 1,266 දෙනකු හෙරොයින් සම්බන්ධයෙන්ද, 2,519 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන ඇත. මේ හේතුවෙන් පාසල් අවට දුම්කොළ හෝ වෙනත් මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ. විශේෂයෙන් කොළඹ හා ඒ අවට පිහිටි ජාත්‍යන්තර පාසල්වල දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල නාගරික පාසල් අවටද වයස අවුරුදු 18ත් 21ත් අතර ළමයින් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් වැඩිවී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා,

ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස, පසුගිය ජූනි මාසය තුළ පමණක් රුපියල් මිලියන 814ක වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. රට තුළ ක්‍රියාත්මක ඒකාබද්ධ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස රේගුව සිය පරීක්ෂණ කටයුතු වඩාත් සූක්ෂ්ම ලෙස සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ 2026 ජූනි මාසය තුළ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 13ක් සිදු කර ඇති බවයි. ඉන් වැටලීම් 4ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු කර ඇති අතර, ඉතිරි වැටලීම් 9ම සිදු කර ඇත්තේ තැපැල් හුවමාරුව හරහා මෙරටට එවූ කුඩා පාර්සල් පරීක්ෂා කිරීමේදීය. මෙම වැටලීම් මඟින් අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 83.2කි.

තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ පුංචිහේවා මහතා, දිනකට ලැබෙන අතිවිශාල තැපැල් ප්‍රමාණය එකින් එක පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු වුවද, ස්කෑනර් යන්ත්‍ර පරීක්ෂා කිරීම් සහ අහඹු ලෙස තෝරාගෙන සිදුකරන පරීක්ෂා කිරීම් හරහා මෙම ජාවාරම්කරුවන් කොටු කරගැනීමට රේගුව සමත් වූ බව පැවසීය. ඇතැම් අවස්ථාවලදී ග්‍රෑම් 4ක් 5ක් වැනි ඉතා කුඩා ප්‍රමාණවලින් පවා මත්ද්‍රව්‍ය එවා ඇති බවත්, ජාවාරම්කරුවන් මෙම කුඩා ප්‍රමාණවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර එහි ප්‍රමාණය ග්‍රෑම් 50-100 දක්වා වැඩි කර පාරිභෝගිකයන් වෙත මුදාහරින බවත් ඔහු අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස්, කොකේන් සහ කුෂ් (Kush) ප්‍රධාන වන අතර, ඉන් වැඩිපුරම අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කුෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍යයි. තායිලන්තය තුළ කුෂ් නීතිගත කිරීමෙන් පස්සේ, කුමන රටක සිට පැමිණෙන මගියෙකු වුවද මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ප්‍රභවය බොහෝ විට තායිලන්තය වී ඇති බවත්, මෙය රටට අලුත් අවදානමක් ලෙස රේගුව හඳුනාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කුඩා මත්ද්‍රව්‍ය ප්‍රමාණ ඍජුවම පාරිභෝගිකයා අතට පත්වීමේ අවදානමක් ඇති බැවින්, එමඟින් සිදුවන සමාජ බලපෑම ඉතා ඉහළ බව රේගුව අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com