මුල් මාස 5 තුළ අපනයන ආදායම අ.ඩො.මිලියන 7,300 ඉක්මවයි

0
මුල් මාස 5 තුළ අපනයන ආදායම අ.ඩො.මිලියන 7,300 ඉක්මවයි

මුල් මාස 5 තුළ අපනයන ආදායම අ.ඩො.මිලියන 7,300 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,300 ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බවත් එහි ප්‍රධාන දායකත්වය ඇඟලුම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ රබර් කර්මාන්තය මඟින් ලබාදී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති “අපනයන ප්‍රගතිය හා ඉදිරි ඉලක්ක” පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 30% සිට 32% දක්වා ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තය නියෝජනය කරන බව සභාපතිවරයා සඳහන් කළ අතර 2026 වසරේ මුල් මාස පහ තුළ පමණක් ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,063ක ආදායමක් උපයා ඇති බවත් එම කර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාල පිරිසකට රැකියා අවස්ථා සලසන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවත් පැවස්වේය.

අපනයන සංවර්ධන සැලැස්මක් ද එළිදක්වා ඇති බව සඳහන් කළ සභාපතිවරයා දැනට පවතින ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර තවදුරටත් ශක්තිමත් කිරීමත්, නව අපනයන ක්ෂේත්‍ර හඳුන්වාදීමත් එහි අරමුණ බව පැවසීය.

එමෙන්ම, ඉදිරි වසර පහ තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 8කට අධික අපනයන ආදායමක් උපයා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම් වැඩි වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන අතර, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවල් වෙතද සැලකිය යුතු ප්‍රමාණයක් අපනයනය කෙරෙන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් විදේශ වෙළෙඳපොළ පුළුල් කිරීමත් සමඟම නවීන තාක්ෂණය භාවිත කරමින් දේශීය නිෂ්පාදන හැකියාවන්ද වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

පොල් ආශ්‍රිත නිෂ්පාදනද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් බවත් පොල් තෙල්, පොල් කිරි ඇතුළු වටිනාකම් එකතු කළ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක ආදායමක් ලැබූ බව පෙන්වා දුන් සභාපතිවරයා, මෙම වසරේ මුල් මාස පහ තුළ එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 404ක් දක්වා වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 5ක වර්ධනයක් බවද පැවසීය.

ලෝක වෙළෙඳපොළ තුළ රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
2026 වසර තුළ මෙම ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර මඟින් තවත් ඉහළ ආදායමක් උපයා ගැනීමත් ඉදිරි වසර පහක කාලය තුළ විශාල රැකියා අවස්ථා බිහිකරමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමත් අපේක්ෂා කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com