මහා පරිමාණ හොර අරක්කු වැටලීමෙන් ඉන්දීය ස්ටිකර් සමාගමේ බදු වංචාවක්

0
මහා පරිමාණ හොර අරක්කු වැටලීමෙන් ඉන්දීය ස්ටිකර් සමාගමේ බදු වංචාවක්

මහා පරිමාණ හොර අරක්කු වැටලීමෙන් ඉන්දීය ස්ටිකර් සමාගමේ බදු වංචාවක්

පානීය ජල බෝතල් ව්‍යාපාරයක් මුවාවෙන් මාලබේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් බස්නාහිර උතුර පළාත් පොලිස් නිලධාරීන් විසින් සාර්ථකව වටලා තිබෙනවා.

මාලබේ, සුදර්ශන මාවතේ පිහිටි මෙම ස්ථානය වටලන අවස්ථාවේදී එහි තිබී නීති විරෝධී මත්පැන් ලීටර 3,345.5ක් සහ බෝතල් 18,575ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත පොලිස් කණ්ඩායම් මෙම නීති විරෝධී මත්පැන් තොග මඩකලපුව, චෙන්කලඩි, එරාවුර් සහ කරදියනාරු යන ප්‍රදේශවල නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් හරහා ප්‍රසිද්ධියේ අලෙවි කරමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුවන ස්ථානයට හදිසියේම සුරාබදු නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ තිබෙනවා.

එහිදී මඩකලපුව වැටලීමට නායකත්වය දුන් බස්නාහිර පළාත උතුර දිශාව 2 වැනි ඒකකයේ ස්ථානාධිපති පැතුම් අංජන මහතා, එතැනට පැමිණි සුරාබදු නිලධාරීන්ට දබරැඟිල්ල දිගු කරමින් දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේ,

“සුරාබදු එක කරන්න ඕන ඩියුටියක් තමයි මේ අපි ඇවිත් කරන්නේ…. සුරාබදු එක තමයි මේ වල් බෙහෙත් දාලා, කුඩු දාලා, කුණු දාලා විකුණන ඒවා අල්ලන්න ඕන…. අපි නෙමෙයි…. අපි කොළඹ ඉඳලා ඔයාලාට කෙලින්න ආවේ නෑ…. අපි මෙතන කවුරුත් ගණන් ගන්නේ නෑ…. අපි ජොබ් එක කරන්නයි ආවේ….”

ඔහු එහි සිටි එම මත්පැන් ජාවාරම්කරුවන් දෙසට ඇඟිල්ල දිගු කරමින් “ඔයාලාගේ ආරක්ෂකයෝ නෙමෙයි සුරාබදු එක ” යනුවෙන් පවසා තිබෙනවා.

නීති විරෝධී මත්පැන් සමාජගත වීම වැළැක්වීමට සහ රජයට අහිමි වන බදු ආදායම් රැකගැනීම සඳහා 2016 වසරේ අයවැය යෝජනාවකට අනුව මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව “ආරක්ෂිත ස්ටිකර් ක්‍රමයක්” හඳුන්වා දී තිබෙනවා.

දැනට මෙරට භාවිත වන මත්පැන්වලින් 40%ක්ම නීති විරෝධී මත්පැන් වන අතර, ඒ හේතුවෙන් රජයට වාර්ෂිකව අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 40ත් 80ත් අතර වනවා.

රජයට රුපියල් බිලියන 120ක පමණ බදු මුදලක් නිසි පරිදි ගෙවනු ලබන්නේ 60%ක් වූ නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදකයන් පමණක් වනවා.

පසුගියදා මාලබේ සහ මඩකලපුවේදී අත්අඩංගුවට ගත් හොර මත්පැන් බෝතල් සියල්ලෙහිම මෙම “ආරක්ෂිත ස්ටිකරය” නීති විරෝධී අයුරින් වංචනික ලෙස අලවා තිබුණා.

පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම වෙනුවට, බෝතලයේම සිදුකරන ඩිජිටල් මුද්‍රණයක් (Digital Print) සඳහාද සාමාන්‍ය කඩදාසි ස්ටිකරයකට වැයවන මුදලම රජයෙන් ගෙවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

සංඛ්‍යාලෙඛන දත්ත සහ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළි වූ කරුණු සළකා බැලීමේදී පෙනී යන්නේ, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම සිටිකර් ටෙන්ඩරය හිමි කුප්‍රකට මැඩ්‍රාස් සෙක්‍යුරිටි ප්‍රින්ටර්ස් නම් ආයතනය බේරා ගැනීමට දිවි හිමියෙන් පෙනී සිටින බවයි.

මෙම සමාගම ඉන්දියාව, කෙන්යාව, බංග්ලාදේශය, සුදානය, ලයිබීරියාව සහ පිලිපීනය යන රටවලද මහා පරිමාණ මූල්‍ය වංචා සිදුකර කළු ලැයිස්තුගත (Blacklisted) වූ සමාගමක් වන අතර, ඔවුන් විසින් නීත්‍යානුකූලව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු ආරක්ෂිත ස්ටිකර්, වංචාසහගත ලෙස හොර මත්පැන් නිෂ්පාදකයන්ටද අලෙවි කරන බවට චෝදනා එල්ල වුණා.

මෙම ටෙන්ඩරය වසර 7ක් තිස්සේ අත්තනෝමතික ලෙස භාවිත කළ මැඩ්‍රාස් සෙක්‍යුරිටි සමාගමේ ටෙන්ඩර් කාලය මේ වසරේදී අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු මෙරට ප්‍රබල දේශපාලන හා නිලධාරී බලඇණියක් එකතු වී, මෙම නව ටෙන්ඩර් බලපත්‍රයද නැවත වතාවක් එම කුප්‍රකට ඉන්දීය සමාගමටම ලබා දීම සඳහා මේ වන විටත් සංවිධානාත්මක කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com