හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකාවේ ක්‍රීඩා පිටියක් නොවේ – ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව
හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකාවේ ක්‍රීඩා පිටියක් නොවේ - ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව
හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ සිදුවන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමකට සිය ආරක්ෂක බළකායෙන් කඩිනම් සහ දරුණු ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව අනතුරු අඟවා තිබේ.
එම මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරන සියලු වෙළෙඳ නැව් ඉරාන හමුදාව නම් කරනු ලැබූ මුහුදු මාර්ගය අනුගමනය කිරීමට බැඳී සිටින බවත්, විකල්ප මුහුදු මාර්ග භාවිත කිරිමට උත්සාහ ගන්නා ඕනෑම නෞකාවකට පහර දෙන බවත් ඉරාන ආරක්ෂක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ඉරාන හමුදාව මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡාවලදී හෝමූස් යළි විවෘත කිරිම සඳහා අමෙරිකානු නියෝජිතයන් උත්සාහයට ප්‍රතිචාර දක්වමින් බවද වාර්තා වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු අමෙරිකාවේ ක්‍රීඩා පිටියක් නොවන බවත්, එය ඉස්ලාමීය ඉරාන ජනරජයේ ස්වෛරීභාවයට අයත් භුමියක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර තිබේ.
ඉරානයට එරෙහිව ගන්නා ඕනෑම මිලිටරි ක්රියාන්විතයකට දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් එම නිවේදනයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇති අතර, ඉරානයේ නිදහස, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම සඳහා පූර්ණ සූදානමකින් පසුවන බවද එරට ආරක්ෂක හමුදාව සඳහන් කර තිබේ.
