ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදා­යම් (Upper-Middle Income) රටක් – ලෝක බැංකුව

0
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදා­යම් (Upper-Middle Income) රටක් - ලෝක බැංකුව

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදා­යම් (Upper-Middle Income) රටක් - ලෝක බැංකුව

දරුණු ආර්ථික අර්බු­දය නිමා කර­මින් වර්ත­මා­නයේ ලබා තිබෙන සාධ­නීය ප්‍රග­තිය කෙරෙහි අව­ධා­නය යොමු කර­මින්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ‘ඉහළ මැදි ආදා­යම්‘ (Upper-Middle Income Status) ලබන රටක් ලෙස නිල වශ­යෙන් උසස් කර තිබේ.

ලෝක බැංකුව විසින් පෙරේදා (01) නිකුත් කරන ලද නව­තම රට­වල් ආදා­යම් වර්ගී­ක­රණ යාව­ත්කා­ලීන කිරී­මට අනුව ලබා දී ඇති මෙම උසස් වීමට බලපා ඇත්තේ, 2022 වස­රේදී රට මුහුණ දුන් දැඩි ආර්ථික අර්බු­ද­යෙන් පසුව ඉතා ශක්ති­මත් ආර්ථික පුන­රු­ත්ථා­ප­න­යක් සහ ප්‍රකෘ­ති­මත් බවක් අත්පත් කර ගැනීම බව ලෝක බැංකුව අව­ධා­ර­ණය කරයි. සෑම වස­ර­කම ජූලි 1 වැනිදා ලෝක බැංකුව විසින් ලොව පුරා පව­තින රට­වල ආදා­යම් වර්ගී­ක­ර­ණ­යන් යාව­ත්කා­ලීන කරනු ලබයි. ඒ සඳහා ඔවුන් පද­නම් කර­ගන්නේ ‘ඇට්ලස් ක්‍රමය’ (Atlas method) මඟින් ගණ­නය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදා­ය­මයි (Gross National Income – GNI per capita). කෙටි කාලීන විනි­මය අනු­පාත වෙනස් වීම් නිසා සිදු වන බල­පෑම් අවම කර නිවැ­රදි තත්ත්වය හඳුනා ගැනී­මට මෙම ඇට්ලස් ක්‍රමය උප­කාරී වේ. මේ අනුව ලෝකයේ රට­වල් ආදා­යම් මට්ටම් හත­ර­කට බෙදා වෙන් කරනු ලබයි. එම කාණ්ඩ හතර නම්: පහළ ආදා­ය­ම්ලා­භීන්, පහළ මැදි ආදා­ය­ම්ලා­භීන්, ඉහළ මැදි ආදා­ය­ම්ලා­භීන් සහ ඉහළ ආදා­ය­ම්ලා­භීන් වේ.

ඒ අනුව 2025 වස­රේදී එක්සත් ජන­පද ඩොලර් 1135ක්ව තිබී, මේ වසරේ ජූලි 01දා වන විට එය එක්සත් ජන­පද ඩොලර් 1175ක් දක්වා වූ ඒක පුද්ගල ආදා­ය­මක් සට­හන් කළ රට­වල් පහළ ආදා­යම් ගොන්නට ගැනේ. පසු­ගිය වසරේ ජූලි 01දා වන විට එක්සත් ජන­පද ඩොලර් 1136 සිට ඩොලර් 4495ක් දක්වා වූ රට­වල් පහළ මැදි ආදා­යම් කාණ්ඩයේ රට­වල් විය. එය මේ වසරේ ජූලි 01දා වන විට ඩොලර් 1176 සිට ඩොලර් 4635 දක්වා වැඩි කර ඇත. මෙවැනි ඒක පුද්ගල ආදා­යම් ලබන රට­වල් පහළ මැදි ආදා­යම් ලබන රට­වල් වේ.

ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් පහක් මෙවර ඉහළ මැදි ආදා­යම් ලබන රට­වල් බවට උසස් කොට ඇත. 2025 ජූලි 01දා වන විට ඒක පුද්ගල ආදා­යම ඩොලර් 4496 සිට ඩොලර් 13,935ක්ව තිබූ රට­වල් ඉහළ මැදි ආදා­යම් කාණ්ඩ­යට අයත් විය. ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් හත­රක් මේ වසරේ ජූලි 01දා වන විට ඩොලර් 4636 සිට ඩොලර් 14,375ක් දක්වා වූ කාණ්ඩ­යට ඇතු­ළත්ව ඉහළ මැදි ආදා­යම් ලබන රට­වල් බවට පත්ව ඇත. ඉහළ ආදා­යම් ලබන රටක් ලෙස නම් වීමට නම් මේ වසරේ ජූලි 01දා වන විට ඒක පුද්ගල ආදා­යම ඩොලර් 14,375කට වඩා වැඩි විය යුතුය. එය 2025 වසරේ පැව­තියේ ඩොලර් 13,935 මට්ට­මේය.

මෙවර සිදු කළ වර්ගී­ක­ර­ණ­යේදී ශ්‍රී ලංකාව මීට පෙර රැඳී සිටි ‘පහළ මැද ආදා­යම්’ කාණ්ඩ­යෙන් ‘ඉහළ මැදි ආදා­යම්’ කාණ්ඩය දක්වා ඉදි­රි­යට පැමිණ ඇත. ශ්‍රී ලංකා­වට අම­ත­රව ජෝර්දා­නය, මයි­ක්‍රො­නී­සි­යාව, පිලි­පී­නය සහ විය­ට්නා­මය යන රට­වල් ද මෙවර ඉහළ කාණ්ඩ­යන් වෙත උසස් වී තිබේ. විශේ­ෂ­ත්ව­යක් වන්නේ මෙම වස­රේදී කිසිදු රටක් ආදා­යම් මට්ට­ම්ව­ලින් පහ­ළට ඇද වැටී නොමැති වීමයි.

ශ්‍රී ලංකාව මෙලෙස නැවත වර්ගී­ක­ර­ණ­යට ලක්වීම, අර්බු­ද­ය­කින් පසු යථා තත්ත්ව­යට පත්වීමේ සහ නොසැලී නැඟී සිටීමේ සුවි­ශේෂී කතා­න්ද­ර­යක් ලෙස ලෝක බැංකුව පෙන්වා දෙයි. 2026 වසරේ මෙම ඇග­යීම ලැබෙන්නේ රට මුළු­ම­නින්ම බිඳ වැටීමේ අද්ද­ර­ටම රැගෙන ගිය 2022 දරුණු ආර්ථික අර්බු­ද­යෙන් වසර තුන­කට පසු­වය. 2025 වසර වන විට ලංකාවේ ආර්ථි­කය ඉතා පැහැ­දිලි ධනා­ත්මක වර්ධ­න­යක් පෙන්නුම් කිරී­මට සමත් විය. 2025 වස­රේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පා­දි­තයේ (Real GDP) වර්ධ­නය ආසන්න වශ­යෙන් 5%ක් තරම් ඉහළ මට්ට­මක පැව­තුණි.

කර්මාන්ත ක්ෂේත්‍රය, මූල්‍ය සේවා සහ සංචා­රක ව්‍යාපා­රය යන අංශ ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණ­නා­වක කැපී පෙනෙන සහ ශක්ති­මත් වර්ධ­න­යක් දක්නට ලැබුණි. මෙම පුළුල් පරා­ස­යක විහි­දුණු ආර්ථික පිබි­දීම හේතු­වෙන්, ශ්‍රී ලංකා­වට ‘ඉහළ මැදි ආදා­යම්’ කාණ්ඩ සීමාව පසු­කර යෑමට අව­ස්ථාව උදා විය. රට තුළ ක්‍රියා­ත්මක කරන ලද අසීරු මෙන්ම අත්‍ය­වශ්‍ය වූ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ ස්ථාව­රත්ව පිය­ව­ර­යන් නිසා මෙම ප්‍රග­තිය අත්කර ගැනී­මට හැකි වූ අතර, එම­ඟින් රටේ සාර්ව ආර්ථික ස්ථාව­ර­ත්වය නැවත තහ­වුරු විය.

ලෝක බැංකුව පව­සන පරිදි 1987 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගෝලීය වශ­යෙන් අඩු ආදා­යම් ලබන ආර්ථි­ක­යන්හි ප්‍රති­ශ­තය 30% සිට 11% දක්වා සුවි­ශේෂී ලෙස පහත වැටී ඇත. ලෝක බැංකුවේ මෙම නව­තම වර්ගී­ක­ර­ණය ලොව පුරා පව­තින ආර්ථි­ක­යන් 218ක් ආව­ර­ණය කරන අතර, එය ලෝකයේ විවිධ රජ­යන්, පර්යේ­ෂ­ක­යන් සහ ජාත්‍ය­න්තර සංවි­ධා­න­වල වැද­ගත් ඇග­යීම් දර්ශ­ක­යක් ලෙස භාවිත කෙරේ.

ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් ගත් කල, මෙම උසස් වීම හුදෙක් සංඛ්‍යා­ලේ­ඛ­න­මය වෙන­සක් පම­ණක් නොවේ. එයින් රටේ ආර්ථික තත්ත්වය යහ­පත් වෙමින් පව­තින බවට වන සංඥා­වක් නිකුත් කරන අතර, ජාත්‍ය­න්තර වශ­යෙන් රට දෙස බලන ආකා­රය සහ ඇතැම් සංව­ර්ධන සහ­නා­ධාර මෙන්ම ජාත්‍ය­න්තර මූල්‍ය ආධාර ලබා ගැනීමේ ක්‍රියා­ව­ලීන් කෙරෙහි ද මෙයින් බල­පෑ­මක් ඇති විය හැකිය.

මෙය ඉතා ධනා­ත්මක සන්ධි­ස්ථා­න­යක් වුවද, ලෝක බැංකුව සහ අනෙ­කුත් ආර්ථික විශේ­ෂ­ඥ­යන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් තව­මත් විවිධ ආර්ථික දුෂ්ක­ර­තා­ව­ලට මුහුණ දෙමින් සිටින බවයි. දිළි­ඳු­කම තව­දු­ර­ටත් රට තුළ ප්‍රධාන ගැට­ලු­වක්ව පව­තින අතර, ගෘහස්ථ ආදා­යම් සහ රැකියා නියු­ක්තිය මෙතෙක් සෑම ප්‍රදේ­ශ­ය­කම අර්බු­ද­යට පෙර පැවති මට්ට­මට සම්පූ­ර්ණ­යෙන්ම ළඟා වී නොමැත. එබැ­වින්, සිය­ලුම පුර­වැ­සි­යන්ට මෙහි ප්‍රති­ලාභ ලැබෙන පරිදි පොදු සහ සහ­භා­ගිත්ව ආර්ථික වර්ධ­න­යක් ඇති කිරීම සඳහා අඛණ්ඩ උත්සා­හ­යක නිරත විය යුතුය.

ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුව හඳුන්වා දී ඇති නව රට­වල් හවු­ල්කා­රිත්ව රාමුව (Country Partnership Framework 2026-2030) මඟින් පුද්ග­ලික අංශයේ සංව­ර්ධ­නය, නව රැකියා උත්පා­ද­නය සහ ව්‍යූහා­ත්මක ප්‍රති­සං­ස්ක­රණ හරහා මධ්‍ය­කා­ලී­නව ලංකාවේ ආර්ථි­කය 7%ක පමණ වර්ධන වේග­යක් කරා රැගෙන යෑමේ ඉල­ක්ක­යට සහ­යෝ­ගය දැක්වී­මට බලා­පො­රොත්තු වේ.

ශ්‍රී ලංකාව නැවත වතා­වක් ඉහළ මැදි ආදා­යම් ලබන රටක් බවට පත්වී­මෙන් පැහැ­දිලි වන්නේ ලාංකේය ජන­තාව සතු නොසැ­ලෙන ශක්තිය සහ අධි­ෂ්ඨා­න­යයි. මෙම ලබා­ගත් ප්‍රග­තිය තව­දු­ර­ටත් ඉදි­රි­යට පවත්වා ගනි­මින් දිගු­කා­ලීන සමෘ­ද්ධිය ළඟා කර ගැනී­මට නම්, ආර්ථික ස්ථාව­ර­ත්වය කෙරෙහි අඛ­ණ්ඩව අව­ධා­නය යොමු කිරීම, සංචා­රක හා කර්මාන්ත වැනි ප්‍රධාන ක්ෂේත්‍ර­වල ආයෝ­ජන ඉහළ නැංවීම මෙන්ම සෑම පාර්ශ්ව­යක්ම ඇතු­ළත් කර­ගන්නා සංව­ර්ධන ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරීම අත්‍ය­වශ්‍ය වනු ඇත. ඉදිරි වස­ර­ව­ලදී වඩාත් ස්ථාවර සහ වර්ධ­නය වන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟී­මට වෙහෙ­සෙන ශ්‍රී ලංකා­වට, මෙම ජය­ග්‍ර­හ­ණය නව බලා­පො­රො­ත්තු­වක් එක්කර තිබේ.

– Dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com