අතරමඟ නතර කළ ගොඩනැඟිලි ගැන ආණ්ඩුවෙන් තීරණයක්

0
අතරමඟ නතර කළ ගොඩනැඟිලි ගැන ආණ්ඩුවෙන් තීරණයක්

අතරමඟ නතර කළ ගොඩනැඟිලි ගැන ආණ්ඩුවෙන් තීරණයක්

විවිධ හේතු මත අතරමඟ නතර කර දමා ඇති රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති එළඹෙන 2027 වසරේ දෙසැම්බර් මාසය වන විට කඩිනමින් නිම කිරීමට රජය බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (01) පැවති කබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

යාපනය නගර සභා ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය පාලන සමයන්හිදී රුපියල් මිලියන 1693ක මූලික කොන්ත්‍රාත් මුදලක් යටතේ ආරම්භ කළ එම ගොඩනැඟිල්ලේ වැඩ කටයුතු 2022 වසර වන විට සියයට 70%ක් අවසන්ව තිබියදී කාලයක් තිස්සේ මෙලෙස ව්‍යාපෘති නතර කර තැබීම නිසා සිදුවන මිල විචලනයන් හමුවේ එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට රුපියල් මිලියන 1958ක් දක්වා පිරිවැය ඉහළ ගොස් ඇති බව‍යි.

පසුගිය රජයන් සිදු කළේ ව්‍යාපෘති සඳහා මුල් ගල් තැබීම පමණක් වුවද වත්මන් රජය එම වැඩ කොටස සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බවද නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් බිලියන 28කින් අවසන් කිරීමට තිබූ ව්‍යාපෘති වසර කිහිපයක් පුරා නතර කර තැබීම නිසා ඒවා නිම කිරීමට දැන් රුපියල් බිලියන 58ක් වැය කිරීමට සිදුව ඇති බවයි.

ඒ අනුව භාණ්ඩාගාරයට රුපියල් බිලියන 44ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර එම කටයුතු නිම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වසරේ බිලියන 2ක් ලබන වසරේ බිලියන 3ක් වෙන් කරන බව නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

බොහෝ අමාත්‍යාංශ යටතේ මෙලෙස අඩක් නිම කොට අතරමඟ නතර කර ඇති ව්‍යාපෘති පවතින බවත් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය පිටුපස සැඟවෙමින් කොන්ත්‍රාත්කරුවන්ගේ අඩුපාඩු සහ අනෙකුත් ප්‍රශ්න වසා ගැනීමට පසුගිය පාලකයන් උත්සාහ කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා.

එබැවින් ව්‍යාපෘති නතර වීමට හේතු සෙවීමට වඩා දැනට පවතින මහජන අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන එම ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ඔහු පෙන්වාදෙනවා.

කෙසේවෙතත් සමහර ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ සැබෑ මහජන අවශ්‍යතාවලට අනුකූලව නොවන බැවින් එවැනි ඉදිකිරීම් තවදුරටත් අවශ්‍ය නොවන බවට අදාළ ආයතන මඟින් නිර්දේශ කර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා.

එම ව්‍යාපෘති පිළිබඳව රජය නැවත සමාලෝචනයක් සිදු කර අවසාන මුදල් වෙන් කිරීම් තීරණය කරන බවද ඔහු කියා සිටියා.

ව්‍යාපෘති නතර වීමට හේතු සෙවීම සඳහාම වෙනම පොදු විමර්ශනයක් දැනට සිදු නොකළද මෙම ඉදිකිරීම් ක්‍රියාවලීන් තුළ කිසියම් වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com