හිටපු ඇමැති ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්
හිටපු ඇමැති ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්
ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා නෙදර්ලන්ත රජයෙන් දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවේය.
අගවිනිසුරු (මෙම නඩුකරය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ විනිසුරු) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය කරුණු දක්වමින්, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු නඟාසිටුවීම සඳහා නෙදර්ලන්ත රජය විසින් ණය පදනම මත මෙම නඩුකරයට අදාළ වාහනය ශ්‍රී ලංකා රජයටදී තිබූ බව පැවසුවාය. සුනාමි ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනය, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඒ. එච්. එම්. ෆවුසි මහතා වසර පහක පමණ කාලයක් පුරා ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන තිබූ බව නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය පෙන්වා දුන්නාය.
එම අවස්ථාවේදී විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙත්සම්කාර පාර්ශ්වය අමතමින්, වගඋත්තරකරුට එරෙහිව මෙම සිද්ධිය පාදක කරගනිමින් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ චෝදනාවලට ඔහු වරද පිළිගෙන ඇති බව පෙන්වා දුන්නේය. එවැනි තත්ත්වයක් යටතේ මෙම නඩුකරය තවදුරටත් පවත්වාගෙන යෑමේ පදනම කුමක්දැයි විනිසුරුවරයා ප්‍රශ්න කළේය.
එම ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය, අපරාධ නීතිය යටතේ ගොනු කළ චෝදනාවලට ඔහු මහාධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති නමුත්, මෙම නඩුකරය මූලික අයිතිවාසිකම් නඩුකරයක් බව පෙන්වා දුන්නාය. ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දුන් වාහනය වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා සිය පෞද්ගලික පරිහරණයට ගැනීමෙන් ඔහු බදු ගෙවන්නන්ගේ බදු මුදල් අවභාවිත කර ඇතැයි පෙන්වා දුන් නීතිඥවරිය, “මහජන භාරය” (Public Trust) නමැති වගකීමද ඔහු විසින් උල්ලංඡනය කර ඇතැයි චෝදනා කළාය. මෙම තත්ත්වය යටතේ වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා රජයට කළ පාඩුව අයකර ගැනීමේ අරමුණින් මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම නඩුව ඉදිරිපත් කළ බවද ඇය පෙන්වා දුන්නාය.
වගඋත්තරකාර ෆවුසි මහතා වෙනුවෙන් නීතිඥ රුවන්ත කුරේ මහතා කරුණු ඉදිරිපත් කරමින්, ආපදා කළමනාකරණ කටයුතු සඳහා දී තිබූ වාහනයක් සිය සේවාදායකයා පෞද්ගලිකව පරිහරණය කළ බවට පෙත්සම්කාර පාර්ශ්වය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
එම අවස්ථාවේදී විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, “මෙම සිද්ධියට අදාළව වගඋත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම දූෂණ චෝදනා යටතේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩුවේ චෝදනාවලට ඔහු වරද පිළිගෙන තිබියදී, ඔහුට එම වගකීමෙන් බැහැර විය හැකිද?” යන්න විමසා සිටියේය.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කරුණු දැක්වූ නීතිඥ රුවන්ත කුරේ මහතා සඳහන් කර සිටියේ, අමාත්‍යාංශ ලේකම්වරිය කළ නියෝගයකට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාළ වාහනය මුදාහැරීමෙන් පසු වගඋත්තරකරු විසින් එම වාහනය පාවිච්චි කළ බවයි.




