අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි
අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි
එල්ල වී ඇති බරපතළ චෝදනා හමුවේ අනුරාධපුර අටමස්ථානයේ ගරුත්වය ආරක්ෂා කරගැනීම උදෙසා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් වහාම එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ පවසන්නේ, පල්ලේගම හේමරතන හිමිට එරෙහි චෝදනා පිළිබඳව නීතිමය විමර්ශන නිදහසේ සිදු කිරීමට ඉඩ දී, තනතුරෙන් තාවකාලිකව හෝ ඉවත් වීම සමස්ත භික්ෂු සංස්ථාවටම මෙන්ම රටේ පාලකයන්ටද සැපයිය හැකි කදිම පූර්වාදර්ශයක් වනු ඇති බවයි.
අටමස්ථානය වැනි ඓතිහාසික ජාතික උරුමයන් පවතින්නේ එහි සිටින පුද්ගලයන් නිසා නොවන බවත්, එම උරුමයන් නිසා පුද්ගලයන් බැබළෙන බව ඥානසාර හිමි පවසනවා.
විදේශ රටවල දුම්රියක් ප්‍රමාද වුවද වගකිවයුතු අමාත්‍යවරුන් තනතුරුවලින් ඉල්ලා අස්වන සංස්කෘතියක් පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ, මෙරට ඉතිහාසයේ එවැනි පූර්වාදර්ශ දැක නොමැති වුවද විපත්තිය සම්පත්තියක් කරගැනීමට පල්ලේගම හේමරතන හිමියන්ට මෙය හොඳම අවස්ථාව බව එහිදී කියා සිටියා.
මෙම ශාසනික ධුරයන් කිසිවක් සදාකාලික නොවන අතර, ඒවා සංසාරික වශයෙන් උරුම කරගෙන පැමිණි දෑ ද නොවන බව පැවසූ උන්වහන්සේ පෙන්වාදෙන්නේ, මේ වන විට අන්තර්ජාලය ඇතුළු විවිධ ජනමාධ්‍ය ඔස්සේ ගෝලීය වශයෙන් මේ පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී ඇති බවයි.
මෙවැනි චෝදනා එල්ල වී තිබියදීත් අදාළ තනතුරෙහි තවදුරටත් රැඳී සිටීම, විමර්ශන ආයතනවල ස්වාධීනත්වයට බාධාවක් හෝ බලපෑමක් සිදුවන බවට සමාජය තුළ ප්‍රබල මතයක් ගොඩනැඟීමට හේතු වන බවත් එබැවින් හෘද සාක්ෂියට එකඟව කල්පනා කර, නෛතික විමර්ශන කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවකාශ සලසමින් ධුරයෙන් ඉල්ලා අස්වීම, දැනට පැනනැඟී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සමනය කිරීමට ඇති එකම මඟ බව ඥානසාර හිමි සඳහන් කළා.
එමෙන්ම අටමස්ථානය පාලනය වන්නේ නුවර කලාවියේ වෙනම සම්ප්‍රදායික නීති පද්ධතියකින් සහ සභාවකින් බැවින්, මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහානායක මාහිමියන් වහන්සේලා ඇතුළු නිකාය කාරක සංඝ සභාවෙන්ද උන්වහන්සේ ඉල්ලා සිටියා.
වරදක් සිදුවී ඇත්නම් වරදකරු කවුරු වුවද වරද වරදම බවත්, පවතින සිවිල් නීතියෙන් බේරුණද ස්වභාවදහමේ නීතියෙන් කිසිවෙකුට ගැලවිය නොහැකි බවත් ඥානසාර හිමියන් සිහිපත් කළා.
විශේෂයෙන්ම මෙම වෙසක් සමය තුළ සිදුව ඇති ඇතැම් සිදුවීම් රස කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සමස්ත භික්ෂු සංස්ථාවම ඉලක්ක කර ගනිමින් නින්දා අපහාස සහ මඩ ප්‍රහාර එල්ල වෙමින් පවතින බව උන්වහන්සේ කනස්සල්ලෙන් යුතුව පෙන්වා දේ.
භික්ෂු සමාජය පොදුවේ අනතුරේ වැටීම වැළැක්වීමට නම්, මෙම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ පූර්වාදර්ශය දේශපාලඥයන්ට ද කදිම පාඩමක් වනු ඇති බව පවසන ඥානසාර හිමියන්, අදාළ සියලු බලධාරීන්ට මේ වෙනුවෙන් සම්මා දිට්ඨිය පහළ වේවායි ප්‍රාර්ථනා කරන බවද වැඩිදුරටත් සඳහන් කලේය.




