වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයිය නව රූපවාහිනී (HD) මැදිරිය සිසු අයිතියට

0

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පුහුණුව වෙනුවෙන් ඉදිකළ මාධ්‍ය සංකීරණයේ අඩුපාඩුවක්ව පැවති රූපවාහිනී මැදිරියෙහි නවීන තාක්ෂණික උපාංග ස්ථානගත කර මැදිරි නිෂ්පාදන පහසුකම් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (26) සිසු අයිතියට පත් කෙරුණා.

රූපවාහිනී මැදිරිය විවෘත කිරීමට සමගාමීව, සිසුන්ගේ ප්‍රායෝගික හා අධ්‍යාපනික කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් අලුතින් ඉදිකරන ලද අනුබද්ධ මධ්‍යස්ථාන කිහිපයක්ද මෙහිදී විවෘත කළා.

ඒ අනුව, සිසුන්ට වෙබ් ගුවන් විදුලි නාලිකාවක් ඇතුළු අධ්‍යාපනික සේවා රැසක් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන විකාශන මැදිරියක්, කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයක් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයක්ද මෙහිදී විවෘත වීම විශේෂත්වයක්.

මෙම උත්සවයට සමගාමීව පසුගිය දිනවල ඇති වූ ගංවතුර ඇතුළු ස්වභාවික ව්‍යසනයන් නිසා ආපදාවට ලක්වූ පාසල් කිහිපයක් හඳුනාගෙන, එම පාසල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමත්, තාක්ෂණය සහ පාරිසරික අන්තර් සන්නිවේදනය මනාව වටහා ගනිමින් සකස් කරන ලද “පරිසර හිතකාමී හරිතකරණ ප්‍රතිපත්තිය” (UOVT Greening Policy) නිල වශයෙන් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා.

මෙම ප්‍රතිපත්තිය හරහා විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන සියලුම ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු හරිත සංකල්පය මූලික කරගනිමින් සිදු කිරීමට නියමිත අතර, 2030 වසර වන විට විශ්වවිද්‍යාලය කාබන් විමෝචනයෙන් තොර පරිසර ඒකකයක් ලෙස ගොඩනැංවීමට අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම, වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් කර්මාන්ත ක්ෂේත්‍රයේ හරිත සංකල්පය මූලික කරගත් රැකියා අවස්ථා සඳහා වැඩි වශයෙන් යොමු කිරීමද මෙහි ප්‍රධාන අරමුණක්.

උත්සවයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග අග්‍රාමාත්‍යතුමිය සාකච්ඡාවකද නිරත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com