ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

0
ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

වසර 26කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි.

පරිසර අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙම සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේ අනුමැතිය හිමිවූ බව පැවසූ අමාත්‍යවරයා, ඉන්පසු එම කැබිනට් පත්‍රිකාවට අනූව සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 22වැනිදා ගැසට් කළ බවද එම ගැසට් කරන ලද පරිසර පනත මැයි 06වැනිදා පළමුවරට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ බවද පැවසුවේය.

පරිසරවේදීන්ගේ සහ විද්වත් කණ්ඩායම්වල සක්‍රීය දායකත්වයෙන් සැකසූ මෙම සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරි දිනයක දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පාරිසරික යුක්තිය පසිඳලීම සහ අනාගත පරපුර උදෙසා සොබාදහම සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මෙම නව නීති පද්ධතිය හරහා පාරිසරික පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා ඇති නෛතික හා ක්‍රියාකාරී වපසරිය පුළුල් කර තිබේ.
පරිසරය සුරැකීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සතු වගකීම නීත්‍යානුකූලව තහවුරු කර ඇති මෙම පනත යටතේ, පනවන ලද විධාන පැහැර හරින පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට පැවරේ.

ඒ අනුව, අදාළ වැරදි නිවැරදි කිරීමට අධිකරණය විසින් ලබා දෙන නියෝග කඩ කරන ආයතන වෙත ඉහළ දඩ මුදල් පැනවීමට මහේස්ත්‍රාත්වරයාට බලය පැවරේ. තවද, පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (EPL) කොන්දේසි උල්ලංඝනය කිරීම පමණක් නොව, දැඩි කාර්මික අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීමද බලපත්‍රයක් අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හේතුවක් ලෙස නම් කර ඇති අතර, එවන් අවස්ථාවක කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යෑම වැළැක්වීමට තාවකාලික වසා දැමීමේ ආඥා ලබා ගැනීමටද නව ප්‍රතිපාදන සලසා ඇත.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් නව පරිච්ඡේද හඳුන්වා දෙමින්, තාක්ෂණික විද්වත් කමිටුවල අධීක්ෂණය යටතේ දැඩි නීතිරීති පැනවීමට අමාත්‍යවරයාට බලය පවරා තිබීම මෙහි විශේෂත්වයකි. මීට අමතරව, පාරිසරික බලපෑම් ඇගයීම් (EIA/IEE) වාර්තා සඳහා අසත්‍ය තොරතුරු සැපයීම සහ අනුමැතියකින් තොරව ව්‍යාපෘති වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නම් කර ඇති අතර, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ‘උපාය මාර්ගික පාරිසරික ඇගයීම්’ (SEA) අනිවාර්ය කිරීම හරහා වඩාත් විද්‍යාත්මක පදනමක් සහිත සංවර්ධනයක් අපේක්ෂා කෙරේ.

පරිසරය සුරැකීමේ නවීන සංකල්පයක් වන ‘නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම’ (EPR) මෙරට නීතියට එක් කරමින්, භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරා ඇති අතර, තෙත්බිම් සංරක්ෂණය සඳහද විශේෂිත නව නීති පද්ධතියක් හඳුන්වා දී ඇත.

මෙම පුළුල් සංශෝධන ඔස්සේ පාරිසරික පද්ධතියේ සුරක්ෂිත බව තහවුරු කිරීමත් එමගින් තිරසර ජෛව ගෝලයක පැවැත්ම තහවුරු වනු ඇත. පොරොන්දු වූ පරිදි මතු පරපුර සඳහා සදාහරිත ජීවිතයක් තිළිණ කිරීම රජයේ අපේක්ෂාවයි.

පසුගිය අප්‍රේල් 19 වැනිදා සිට පරිසර අමාත්‍යංශයට වැදගත් වන තවත් වැදගත් ගිවිසුමකට අත්සන් කළ බවද, එනම් ජාත්‍යන්තර විසල් බිළාල සංගමයට රටක් ලෙස අප රට ඇතුලත් වූ බවද හෙතෙම සඳහන් කළේය.

2023 වසරේ ඉන්දියාව මූලිකත්වයෙන් ආරම්භ වන මෙම ජාත්‍යන්තර විසල් බිළාල සංගමයේ අරමුණ වනුයේ ලෝකයේ ජීවත් වන බළල් පවුලේ ප්‍රධාන විශේෂ 07ක් සංරක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මුලපිරීමක් බවද ලොව සිටින විශාල බළලුන් ලෙස සැලකෙන කොටියා, දිවියා, සිංහයා, හිම දිවියා, චීටා, ජගුවාර් සහ පූමා යන මහා බළල් විශේෂ 07 ලෝක පරිමාණයෙන් වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇතැයිද එම මහා බළල් විශේෂ 07 සංරක්ෂණය කිරීම සදහා වන මැදිහත්වීම මෙම සංවිධානයෙන් සිදුකරන බවද අවධාරණය කළේය.

අප රටේ එම විශාල බළල් පවුලේ විශාල බළලුන් අතරින්ශ්‍රී ලාංකික දිවියා සංරක්ෂණයටත් මෙම සංධානය තුළ ඉඩකඩ ලැබෙන බවද සඳහන් කළේය. එම වැදගත්කම සලකා අප රට පසුගිය අප්‍රේල් මාසයේ මෙම ජාත්‍යන්තර විසල් බිළාල සංගමයට ඇතුළත් වූ බවද එය වනජීවී සංරක්ෂණයේ තවත් විශේෂ පියවරක් ලෙස හැඳින්විය හැකි බවද අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com