මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
මහින්දට අල්ලස් කොමිසමට කැඳවීමක්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මතභේදාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නිල ලිපියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ඊයේ (09) පෙරවරුවේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත මෙම ලිපිය භාර දී ඇති බව එම පෙරමුණ සඳහන් කළා.
පසුගිය සතිය පුරාම හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුවද, ඒ වන තෙක් කිසිදු නිල ලිපියක් ලැබී නොතිබුණූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවා.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් A-330 යානා 06ක් සහ A-350 යානා 08ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වුණා.
ජාත්‍යන්තර පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම අල්ලස් මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට බැර වී ඇති බවයි.
මෙම වංචාව සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 12වනදා අල්ලස් කොමිසම විසින් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ අල්ලස් මුදල්වලින් රුපියල් මිලියන 60ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ පියංකර ජයරත්න මහතාට ලබා දුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවයි.
2015 වසරේදී බෙලිඅත්ත සහ කාල්ටන් නිවසේදී අවස්ථා තුනකදී මෙම මුදල් ලබා දුන් බව එහිදී අනාවරණය වුණා.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට මැයි මස මුල් සතියේ ඇප නියම වුවද, ඔහු ඉදිරිපත් කළ ඇපකරුවන් රුපියල් 15,000කට පෙනී සිටි ව්‍යාජ කුලී ඇපකරුවන් බව අධිකරණය හමුවේ අනාවරණය වුණා.
ඒ අනුව, අධිකරණයේ විශ්වාසය කඩ කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ ඇප අවලංගු කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස මැයි 07 වනදා වරෙන්තු නිකුත් කළා.
අධිකරණය වරෙන්තු නිකුත් කර පැය 24ක් ගතවීමටත් මත්තෙන්,ඉකුත් සිකුරාදා (08) පෙරවරුවේ කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගනු ලැබුවා.




