බස් පර්මිට් 308ක් අතුරුදන් – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
බස් පර්මිට් 308ක් අතුරුදන් - නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයකට පැවරීමට නීත්‍යනුකූලව අවසර ලබා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය:
“දැනට මගී සේවා අවසර පත්‍ර 2,493ක් නිකුත් කර තිබෙනවා. ඉන් බලපත්‍ර 49ක් අවලංගු වී ඇති අතර, බලපත්‍ර 308කට සිදු වූ දෙයක් පිළිබඳව සඳහනක් නැහැ. තවත් බලපත්‍ර 357ක් නිකුත් කර තිබුණත් ඒවායේ බස් රථ ධාවනය වන්නේ නැහැ. එවැනි ධාවනය නොකරන බස් බලපත්‍ර භාවිත කරමින් ධාවන කටයුතු ආරම්භ කිරීම සඳහා ජූනි 30 වන දින දක්වා කාලය ලබා දී තිබෙනවා. ජූනි 30න් පසුව එම බලපත්‍ර 357ම ටෙන්ඩර් කරන අතර කැමැති අයකුට ඒවා ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.”
මගී සේවා අවසර පත්‍ර පැවරීමට මෙතෙක් පැවති බාධා හේතුවෙන්, බොහෝ අවසර පත්‍ර ඇටෝනි බලපත්‍ර මඟින් තෙවැනි පාර්ශ්වයන්ට පවරා ඇති බව නිරීක්ෂණය වී ඇතැයිද අමාත්‍යවරයා කීය. එම ගැටලු නිරාකරණය සඳහා ගමනාගමන සංශෝධන පනත මඟින් අවශ්‍ය ප්‍රතිපාදන සලසා ඇති බවත්, ඒ හරහා මගී අවසර පත්‍ර නීත්‍යනුකූලව පවරා ගැනීම සඳහා යෝජනා රැසක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. බස් බලපත්‍රයක් පැවරීමේදී සලකා බලනු ලබන නිර්ණායක කිහිපයක් පිළිබඳවද ඔහු පැහැදිලි කළේය: බස් රථය මීට පෙර ධාවනය කළ ආකාරය.
අදාළ බලපත්‍රය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග හෝ මහජන පැමිණිලි තිබේද යන්න. ආයතනික අභ්‍යන්තර විමර්ශන පවතින්නේද යන්න. බලපත්‍රය ලබා ගන්නා පුද්ගලයාගේ බැංකු ගිණුමක අවම වශයෙන් මාස හයක කාලයක් රුපියල් මිලියන දෙකක මුදලක් තිබිය යුතුය. (හදිසි අනතුරකදී හෝ අලුත්වැඩියාවකදී මූල්‍ය හැකියාව තහවුරු කර ගැනීමට මෙය අත්‍යවශ්‍ය වේ.) දේශපාලනඥයන් පසුපස යෑමෙන් තොරව, විනිවිදභාවයකින් යුත් විධිමත් ක්‍රමවේදයක් යටතේ බස් බලපත්‍ර ලබා ගැනීමට මේ හරහා අවස්ථාව සැලසෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.




