ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවාව නියාමනය කිරීමට පියවර
ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවාව නියාමනය කිරීමට පියවර
නුවරඑළිය ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටු දෙකක් ගැටී, පෙරළීමෙන් ඉරිදා (19) සිදු වූ අනතුරින් පසු එම බෝට්ටු සේවාව නියාමනයක් ඇතිව පවත්වාගෙන යෑමට ඊයේ(20) සිට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසනවා.
නුවරඑළිය වසන්ත උදානයට ලක්ෂ 15ක පමණ සංචාරකයන් පිරිසක් පසුගිය දින කිහිපය තුළ පැමිණි බවත්, මෙවර වසන්ත උදානය සාර්ථකව පවත්වාගෙන යෑමට හැකි වූ බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.
නුවරඑළිය ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු 120ක් පමණ තිබෙන බවත්, ඉරිදා දින සිදු වූ අනතුරින් පසු එම බෝට්ටු අයිතිකරුවන් සහ පැදිකරුවන් කැඳවා සංචාරකයන්ට ආරක්ෂිත කබා පළදවා, වේග සිමාවන් අඩු කර, අවධානම් රහිත විනයක් සහිතව බෝට්ටු සවාරි රැගෙන යෑම සිදු කරන ලෙසට එම බෝට්ටු අයිතිකරුවන්ට සහ පැදිකරුවන්ට උපදෙස් ලබා දුන් බවයි නගරාධිපතිවරයා පැවසුවේ.
ඉරු පස්වරුවේ ග්‍රෙගරි වැවේ සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ගිය බෝට්ටුවක් ඉදිරියට අධික වේගයෙන් පැමිණි තවත් බෝට්ටුවක් ගැටී සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ගිය බෝට්ටුව පෙරළී අනතුරක් සිදුව තිබුණා.
එම අවස්ථාවේ දී සංචාරකයින් දෙදෙනා සහ බෝට්ටු ක්‍රියාකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබෙනවා.
අනතුරුව නුවරඑළිය පොලිසිය විසින් බෝට්ටුපැදිකරුවන් දෙදෙනාව සැක පිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර අනතුර සිදු වූ අවස්ථාවේ බෝට්ටුවේ සිටි සංචාරකයන් දෙදෙනාගේ ජංගම දුරකථන ග්‍රෙගරි වැවට වැටී අතුරුදහන්ව ඇති අතර, ඒ අනුව සිදු වූ අලාභය බෝට්ටු අයිතිකරුවන් විසින් එම සංචාරකයින් දෙදෙනාට ගෙවීමට කටයුතු කර තිබෙනවා.




