රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී

0
රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී

රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී

ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිට්ල්ස් ඇතුළු ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන අටක් පෞද්ගලීකරණය කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය රජය සමයේ මෙම ආයතන විකිණීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

පසුගිය රජය විසින් තීරණය කර තිබූ රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලිය වත්මන් රජය විසින් අත්හිටුවා ඇති බවත්, ඒ වෙනුවට එම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා පමණක් නව කමිටුවක් පත් කර ඇති බවත් රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව තහවුරු කළාය.

ඒ අනුව, රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ රජය, ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් පමණක් මෙම නව ප්‍රතිසංවිධාන කමිටුව හරහා ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙහිදී සඳහන් කළේ, අදාළ ආයතන විකිණීමේ තීරණය රජය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com