යුද ගැටුම් හේතුවෙන් බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලි අවලංගුයි
යුද ගැටුම් හේතුවෙන් බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලි අවලංගුයි
මැදපෙරදිග කලාපය පුරා පැතිර යන යුදමය වාතාවරණය හේතුවෙන් ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී මෝටර් රථ ධාවන තරගාවලි අවලංගු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ පිළිබඳ නිල නිවේදනය සති අන්තය අවසන් වීමට පෙර නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඇමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් සමනය වන ලකුණක් නොපෙනීම හේතුවෙන් තරගාවලියට සම්බන්ධ වන කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.
ලබන අප්‍රේල් 12 වැනිදා බහරේන් තරගයත්, ඉන් පසු සති අන්තයේ ජෙඩා (Jeddah) හිදී සෞදි තරගයත් පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
මෙම තරගාවලි ද්විත්වය අවලංගු කිරීමත් සමග ෆෝමියුලා වන් (F1) සංවිධායකයන්ට පවුම් මිලියන 100කට අධික මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර,
මීට විකල්ප ලෙස පෘතුගාලය, ඉතාලිය හෝ තුර්කිය වැනි රටවල තරග පැවැත්වීමට සලකා බැලුණද, පවතින කෙටි කාලය තුළ එවැනි මහා පරිමාණ තරගාවලියක් සංවිධානය කිරීම ප්‍රායෝගික නොවන බව බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව මෙවර තරග වාරය ග්‍රෑන්ඩ් ප්‍රී 22ක් දක්වා සීමා වනු ඇති අතර, මාර්තු 29 වැනිදා පැවැත්වෙන ජපන් ග්‍රෑන්ඩ් ප්‍රී තරඟයෙන් පසුව මැයි 3 වැනිදා පැවැත්වෙන මියාමි තරගය දක්වා සති පහක විවේකයක් ක්‍රීඩකයන්ට හිමි වේ.






