ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනය කරයි
ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනය කරලා
හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට ඔහු 53වන වියේ පසුවුණා.
ලිබියානු පුවත් ඒජන්සියට අනුව, ඔහුගේ දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා මෙම මරණය තහවුරු කර ඇති අතර, එය ඉකුත් අඟහරුවාදා (03) සිදුවූ බව සඳහන් වේ.
සයිෆ් අල්-ඉස්ලාම්ගේ නීතිඥවරයා AFP පුවත් සේවයට පවසා ඇත්තේ, සින්තාන් (Zintan) නගරයේ පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ සොහොයුරිය ලිබියානු රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ඇල්ජීරියානු දේශසීමාව අසලදී මියගිය බවයි.
මළ සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඔහු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර, එරට නීතිපති කාර්යාලය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස කලක් සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම්, 2011 වසරේදී ඔහුගේ පියාගේ පාලනය බිඳ වැටීමට පෙර එරට වඩාත්ම බලගතු පුද්ගලයෙක්.
බටහිර රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීමට ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ නමුත්, 2011 කැරැල්ලේදී විරෝධතාකරුවන් මර්දනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, 2015 දී ට්‍රිපොලි අධිකරණයක් විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබුණා.
වසර කිහිපයක් සිරගතව සිටි ඔහු 2017 දී පොදු සමාවක් යටතේ නිදහස ලැබුවා.
පසුගිය 2021 වසරේදී ඔහු ලිබියාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කළ ද, පසුව එම මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා තිබේ.





