ක්‍රිකට් නීති පොතට සංශෝධන 73ක්
ක්‍රිකට් නීති පොතට සංශෝධන 73ක්
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයා වන මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC), 2026 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් නීති පද්ධතියට (Laws of Cricket) සැලකිය යුතු සංශෝධන 73ක් එක් කර තිබෙනවා.
මෙම නව නීති මාලාව 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ලොව පුරා නිල වශයෙන් බලාත්මක වීමට නියමිතයි.
නූතන ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි සහ ක්‍රීඩාවේ සියලු අංශ ඇතුළත් වන පරිදි (Inclusive) මෙම 2026 නව සංස්කරණය සකස් කර ඇති බව MCC ආයතනය පවසනවා.
බහුදින තරගවලදී (ටෙස්ට් වැනි), දිනය නිම වීමට නියමිත වේලාව පැමිණි විට පන්දු වාරයක තවදුරටත් පන්දු ඉතිරිව තිබියදී කඩුල්ලක් බිඳ වැටුණහොත්, මින් පෙර ක්‍රීඩාව නතර කළද, නව නීතිය අනුව එම පන්දු වාරය සම්පූර්ණයෙන්ම යවා අවසන් කළ යුතු අතර නව පිතිකරුවාට එදිනම පිටියට පිවිසීම සිදු වනු ඇති.
ක්‍රිකට් පිතිවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, මෙතෙක් කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වූ ‘ලැමිනේටඩ්’ පිති භාවිතය ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රිකට් තරග සඳහා භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා.
පන්දු නිෂ්පාදකයින් සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ආකෘති සඳහා භාවිත කරන පන්දුවල බර සහ ප්‍රමාණය සම්බන්ධයෙන් නව සීමාවන් පනවා තිබන අතර මෙය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීමක් මත සිදුවූ බව සඳහන් වනවා.
මෙතෙක් පැවති සංකීර්ණ ඕවර් ත්‍රෝ නීතිය සරල කර ඇති අතර, ‘ඕවර් ත්‍රෝ’ එකක් සහ ‘මිස්ෆීල්ඩ්’ (පන්දු රැකීමේදී සිදුවන අතපසුවීමක්) යනු කුමක්ද යන්න වඩාත් පැහැදිලිව අර්ථ දක්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් MCC ආයතනයේ නීති කළමනාකරු ෆ්රේසර් ස්ටුවර්ට් පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් විකාශනය වන ක්‍රීඩාවක් බැවින්, 1787 සිට ක්‍රියාත්මක වන මෙම නීති පද්ධතිය නවීන ක්‍රීඩාවට ගැලපෙන සේ යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම ඔක්තෝබර් මාසයේ සිට මෙම නීති බලාත්මක වීමට පෙර ලොව පුරා සිටින විනිසුරුවන්ට සහ නිලධාරීන්ට මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම සඳහා මෙම සංශෝධන දැන්ම ප්‍රකාශයට පත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





