රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට
රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල සහයක රැකියා ලබාදෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින්, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව වංචනික අයුරින් බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Order Solutions නම් ආයතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (08) වැටලීම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
එම අවස්ථාවේ එහි තිබී ඩුබායි රාජ්‍යයේ රැකියා ගිවිසුම් 10ක්, අයදුම්කරුවන්ගේ පෝරම 27ක් හා අදාළ ලේඛන සකස් කළ පරිගණකයද නිලධාරීන් භාරයට ගත් අතර, සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මේ අතර, ජපන් භාෂාව පුහුණු කරන ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් ජපානයේ රියදුරු රැකියා ලබාදීමට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකළ සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර් නම් ආයතනයක් වැටලීම් කර අදාළ ස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා (08) විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහරගම පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය පරීක්ෂා කිරීමේදී රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හා වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල නමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද, වංචනික ලෙස සකස් කරන ලද අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍රද, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කරනු ලබන ශිෂ්‍ය කාර්ය වාර්තා 100 බැගින් අඩංගු රජයේ මුද්‍රණ පොත් 2ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.
වැඩිදුර කරුණු සොයාබැලීමේදී මෙම ආයතනය මගින් ජපන් භාෂාව උගන්වා, අධ්‍යාපන සුදුසුකම් නොමැති අයට ව්‍යාජ ලේඛන සකසා ජපානයට යැවීමට කටයුතු කරන බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවන්ගේ ඥාතියෙකු ජපානයේ සේවය කරන අතර, ඔහුගේ මාර්ගයෙන් මෙම රැකියා අවස්ථා ලබාදෙන බවද අනාවරණය වී තිබෙනවා.
කූට ලේඛන සකස් කිරීම, භාවිතා කිරීම හා සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ අදාළ ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද අතර, (09) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




