ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හඳුන්වාදෙයි

0
ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හඳුන්වාදෙයි

ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හඳුන්වාදෙයි

ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හදුන්වා දීම ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා ඊට අනුබද්ධ රක්ෂණ සමාගම් විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී සිදු විය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊයේ (07) සහභාගී විය.

මේ අනුව මෙතෙක් භාවිතා වූ සාම්ප‍්‍රදායික භෞතික සහ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඞ්පත් වෙනුවට, ඩිජිටල් අනුවාදයක් හඳුන්වා දෙන අතර, එමගින් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට හැකියාව ලැබේ.

මෙය රක්ෂණ සේවාවන් වඩාත් කාර්යක්ෂම, පහසු සහ විශ්වසනීය කරමින්, රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සමඟ සමීපව පෙළගැසෙන වර්ධනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ජාතික වශයෙන් පුළුල් ප‍්‍රතිලාභ ලබා දීම අරමුණු කරගත් මෙම මුලපිරීම ප‍්‍රධාන වශයෙන් වාසි තුනකින් සමන්විත වේ.

පාරිසරික ප‍්‍රතිලාභ ලෙස, ප්ලාස්ටික් භාවිතය සැලකිය යුතු ලෙස අඩු කරමින් අපද්‍රව්‍ය අවම කිරීම හා හරිත ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කිරීම හරහා ජාතික තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායක වීම, පිරිවැය ප‍්‍රතිලාභ වශයෙන්, සංකීර්ණ පරිපාලන හා බෙදාහැරීමේ ක‍්‍රියාවලීන් සරල කරමින්, රක්ෂණ කර්මාන්තයටත් රක්ෂණ ඔප්පු හිමියන්ටත් දිගුකාලීන පිරිවැය ඉතිරිකිරීම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම, ඩිජිටල් ප‍්‍රතිලාභ ලෙස, මෝටර් රථ රක්ෂණය සඳහා ක්ෂණික හා ආරක්ෂිත ප‍්‍රවේශයක් ලබා දීමෙන් සේවා කාර්යක්ෂමතාව, නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කරමින් රජයේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂිතය.

මෙම ක‍්‍රමය ඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම හා තත්‍ය කාලීන නිරීක්ෂණය සහතික කිරීම සඳහා, ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා රක්ෂණ සමාගම් විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් දුරකථන 500ක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය. එමගින් නිලධාරීන්ට මධ්‍යම රක්ෂණ දත්ත සමුදාය වෙත ක්ෂණික හා නිවැරදි සත්‍යාපනය සිදු කිරීමට හැකියාව ලැබේ.

මෙම ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඞ්පත් මුලපිරීම, ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය නව යුගයකට ගෙන යන වැදගත් පියවරක් වන අතර, මහජනතාවටත් රජයටත් එකසේ ප‍්‍රතිලාභ ලබා දෙන නවීන ඩිජිටල් විසඳුමක් ලෙස සැලකිය හැකිය.

විශේෂයෙන්ම වත්මන් රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව මෙලෙස ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඞ්පත් හදුුන්වා දීම ඉතා වැදගත් පියවරක් ලෙස හදුනා ගැනීමට හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com