ඒකාබද්ධ මෙහෙයුම් හරහා අත් කර ගත් ප්‍රතිඵල ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

0
ඒකාබද්ධ මෙහෙයුම් හරහා අත් කර ගත් ප්‍රතිඵල ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

ඒකාබද්ධ මෙහෙයුම් හරහා අත් කර ගත් ප්‍රතිඵල ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

රැඳවුම් නියෝග මත ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගත් සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් උතුර කොට්ඨාස ඇතුළු කණ්ඩායම් කිහිපයක් හරහා ත්‍රීව ලෙස විමර්ශනයට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය අධිකාරි නීතිඥ එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය ප්‍රදේශයේ ස්ථාන දෙකක කැණීම් කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් රජයේ රස පරීක්ෂක වාර්තා සහ විෂ වර්ග අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා අනුව මෙම කැණීම් ස්ථාන දෙකෙහි සිදු කළ පරීක්ෂාවන්හිදී, එම ස්ථාන 19කම ‘අයිස්’ නැමැති විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට ගම්‍ය වූ බව ඔහු සඳහන් කලේය.

මෙම අනාවරණය අනුව ඉදිරියේදී අදාළ සියලුම සැකකරුවන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එෆ් යූ වුට්ලර් මහතා පවසයි.

ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් හරහා මේ වසරේ කැපී පෙනෙන ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වී තිබේ.

එහිදී පුද්ගල පරීක්ෂාවන් දැඩි කිරීම හරහා මේ වසරේ මේ දක්වා ලක්ෂ 51ක් වූ පුද්ගලයන් පරීක්ෂා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, වැඩිදුර ප්‍රශ්න කිරීම් හෝ සැකය මත එක් ලක්ෂ හතර දහසක් පමණ පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම පිරිස අතරින් සුවිශේෂී අපරාධ සොරකම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, වංචා ආදී සඳහා අවශ්‍ය වූ සැකකරුවන් 4,630ක් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙනවා.

තවද, මේ වසරේදී අධිකරණාත්මකව නිකුත් කරන ලද දින වරෙන්තු 45,490ක් සහ විවෘත වරෙන්තු 30,884ක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පොලිසියට හැකි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙනවා.

රථවාහන අනතුරු පාලනය සඳහා පොලිස්පතිවරයාගේ විශේෂ මග පෙන්වීම් යටතේ කොට්ඨාස 46ක් හරහා මාර්ග ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

බීමත් රියදුරන් 46,909කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර අපරීක්ෂාකාරී ලෙස, අධික වේගයෙන් සහ අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් 3,404කට නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ විශේෂ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෑත සිදුවීම් 87ක් හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩික්කරුවන් 38ක්, රථ පැදවූවන් 27ක් සහ අනුබල දුන් සැකකරුවන් 263ක් ඇතුළුව 328 දෙනෙකු රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින බව එෆ් යු වුට්ලර් මහතා සඳහන් කළා.

මෙම අත්අඩංගුවට ගැනීම් හරහා දේශීය හා විදේශීය අවි ආයුධ 1,721ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ අතර T56 බර අවි 61ක්, පිස්තෝල 62ක් සහ රිවෝල්වර 40ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, රටින් පලා ගොස් සැඟවී සිටින දරුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහ පොලිස්පතිවරයාගේ විදේශීය පොලිස් ප්‍රධානීන් සමඟ ඇති සම්බන්ධතා හරහා සහයෝගය ලබා ගනිමින් සිටින බවයි.

ඒ අනුව මේ වන විට විදේශීය රටවල සැඟවී සිටි දරුණු අපරාධකරුවන් 17 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා.

මීට අමතරව, ඔවුන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා රතු නිවේදන 30ක් නිකුත් කර ඇති අතර, ජාත්‍යන්තර සහයෝගය මත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ විශාල මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1422ක්, හසීෂ් කිලෝග්‍රෑම් 471ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක් ගංජා කිලෝග්‍රෑම් 13773ක් ඒ අතර වනවා.

මෙම සියලුම අපරාධකරුවන්ට සහ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ඉදිරියේ දැඩි පියවර ගැනීමට පොලිසිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com