ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් විදෙස් ශ්‍රමිකයන්ගේ වීසා ගාස්තුව 60 ගුණයකින් ඉහළට

ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් විදෙස් ශ්‍රමිකයන්ගේ වීසා ගාස්තුව 60 ගුණයකින් ඉහළට
විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා වන අමෙරිකානු H-1B වීසා සඳහා ඩොලර් ලක්ෂයක වාර්ෂික ගාස්තුවක් අය කිරීමේ විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා දින (20) ධවල මන්දිරයේදී ජනාධිපතිවරයා අත්සන් කරනු ලැබූ එම විධායක නියෝගය ඉරිදා දින (21) සිට ක්‍රියාත්මක වූ බවද වාර්තා වේ. එය එතෙක් පැවැති වාර්ෂික ගාස්තුව වන ඩොලර් 1,700 දළ වශයෙන් 60 ගුණයකින් පමණ ඉහළ නංවමින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. විදේශීය පුහුණු ශ්‍රමිකයන්ගේ පැමිණීම සීමා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ එම තීරණයෙන් අමෙරිකාවේ රැකියා සඳහා පැමිණීමට අපේක්ෂිත ලොව පුරා දක්ෂ වෘත්තීයවේදීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවට පත්වී ඇතැයිද, එමඟින් විදේශ ශ්‍රමිකයන් මත යැපෙන අමෙරිකාවේ සමාගම් රැසකට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නව නීතිය බලපවත්වනු ලබන්නේ H-1B වීසා බලපත් අයැදුම් කරනු ලබන නව විදේශ ශ්‍රමිකයන්ට පමණක් බවත්, දැනටමත් එම වීසා කාණ්ඩය යටතේ අමෙරිකාව තුළ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ට එම නීතිය අදාළ නොවන බවත් ධවල මන්දිරයේ ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් සඳහන් කළ බවද වාර්තා වේ. කෙසේවුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විධායක නියෝගය ඉන්දියාව ඇතුළු රටවල් රැසක දැඩි විවේචනයට ලක්වී ඇති අතර, පසුගිය වසරේදී අමෙරිකාව නිකුත් කළ වීසා කාණ්ඩයෙන් 71% ක්ම ලබා ඇත්තේ ඉන්දීය ශ්‍රමිකයන් බවද වාර්තා වේ. ලොතරැයි ක්‍රමවේදයකට අනුව අමෙරිකාව වාර්ෂිකව H-1B කාණ්ඩය යටතේ වීසා 85,000ක් නිකුත් කරන බවද වාර්තා වේ.
අමෙරිකාවේ සංක්‍රමණිකයන් සඳහා නොවන එම වීසා කාණ්ඩය යටතේ එරට සේවායෝජකයන්ට විශේෂිත වෘත්තීන් සඳහා විදේශීය සේවකයන්ගේ දායකත්වය ලබා ගැනීමට අවස්ථාව ඇති අතර, එය සමාගමේ වර්ගීකරණය යටතේ එක් සේවකයකුට වාර්ෂිකව ඩොලර් 1,700 සිට ඩොලර් 8,000 දක්වා වාර්ෂික ගාස්තුවක් යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.