මානව හිමිකම් කොමිස‍මෙන් සියලුම රාජ්‍ය ආයතනවලට නිවේදනයක්

0
මානව හිමිකම් කොමිස‍මෙන් සියලුම රාජ්‍ය ආයතනවලට නිවේදනයක්

මානව හිමිකම් කොමිස‍මෙන් සියලුම රාජ්‍ය ආයතනවලට නිවේදනයක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලින් පසුව නිකුත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම නැවතත් අවධාරණය කරමින් එම කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම මතක් කරමින් නිල සන්නිවේදනයක් නිකුත් කළ බවය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15(7) වගන්තියට අනුව, රාජ්‍ය ආයතන තමන් වෙත යොමුවන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව කොමිසමට දැනුම්දිය යුතු අවසාන දිනයක් නියම කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට බලය ඇත යනුවෙන්ද එහි දැක්වෙයි.

අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ,

මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට සියලුම රාජ්‍ය බලධාරීන් නීත්‍යානුකූලව බැඳී පවතී. තවද, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 17/2005 මගින් මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහතික කරන ලෙස රාජ්‍ය ආයතනවලටද නියෝග කරයි.

මෙම පැහැදිලි බැඳීම් තිබියදීත්, නිර්දේශයකට එරෙහිව “අභියාචනයක්” පවතින බව පවසමින් ඇතැම් ආයතන සහ නිලධාරීන් තම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීම කොමිසම කනස්සල්ලෙන් යුතුව සටහන් කරයි.

තම නිර්දේශවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට පනත යටතේ නීතිමය විධිවිධානයක් නොමැති බව කොමිසම තරයේ ප්‍රකාශ කරයි. බැවින්, නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම සාධාරණීකරණය කිරීම සඳහා “අභියාචනයක්, යන සංකල්පය භාවිත කිරීම පදනම් විරහිත සහ නීති විරෝධීය.

ඒ අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම නීතිමය රාජකාරිවලට අනුකූල වන ලෙසත්, කොමිසමේ වරමට ගරු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ලෙසත්ය.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් එහි දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com