පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම සීඝ්‍රයෙන් ඉහළට

පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම සීඝ්‍රයෙන් ඉහළට
මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය පැවසුවේ මෙහිදී කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි.
ඒ අනුව මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684කි.
එමෙන්ම මෙම මාස 6ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 38,806කි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 28,973 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 21,958 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබේ.
සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 6,073ක්ද, දකුණු කොරියාවට 3,134ක්ද රැකියා සඳහා විදේශ ගතවී ඇත.
මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 6තුළ ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක ප්‍රේෂණ මෙරටට එවා තිබේ.
පසුගිය වසරේ මුල් මාස 6 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.14ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 18.9න් ඉහළ ගොස් තිබේ.
එසේම 2025 වසරේ ජූනි මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 635.7ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත.
මේ අතර 2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 7ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කර තිබේ.