රේගුව ආරම්භ කළ දවසේ සිට මේ දක්වා රතු ලේබල් කන්ටේනර් නිදහස් කර නෑ

රේගුව ආරම්භ කළ දවසේ සිට මේ දක්වා රතු ලේබල් කන්ටේනර් නිදහස් කරල නැහැ
1805 දී ශ්‍රීලංකා රේගුව ආරම්භ කළ දවසේ සිට මේ දක්වා රතු ලේබල් සහිත කන්ටේනර් රේගුවෙන් නිදහස් කර නොමැති නමුත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව රතු ලේබල් කන්ටේනර් 309ක් නිදහස් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා මහතා පවසයි.
කන්ටේනර් සඳහා රතු, කොළ, කහ ලේබල් පවතින බවත් කොළ සහ කහ සහිත කන්ටේනර් නිදහස් කිරීම ගැටලු සහගත නොවන බවත් එහිදී ඔහු සඳහන් කළා.
නීතීඥවරයා පැවසුවේ කන්ටේනර් ගෙන්වනු ලබන පුද්ගලයා වංචාවලට හසුවීම, කන්ටේනර් එවනු ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය හෝ අවි ජාවාරම් සහිත කෙනෙකු වීම, එවනු ලබන පුද්ගලයා වරාය හෝ රට ගැන සැකයක් පැවතීම ආදී කාරණා මුල් කර ගනිමින් මෙසේ කන්ටේනර් රතු ලේබල් කරන බවයි.
රතු ලේබල් සහිත කන්ටේනර් තුළ අවිආයුධ, කෘෂි කර්මාන්තය හා තේ කර්මාන්තය විනාශ කර දැමිය හැකි පලිබෝධනාශක මෙන්ම මත්ද්‍රව්‍ය ආදී රටට හානි කළ හැකි දේවල් පැවතිය හැකි බව එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
ඒ හේතුවෙන් මෙවැනි රතු ලේබල් කන්ටේනර් රේගුවෙන් නිදහස් නොකරනමුත් වර්ථමාන ආණ්ඩුව ඊට එහා යමින් රතු ලේබල් කන්ටේනර් 309ක් නිදහස් කර ඇති බවත් එය ආණ්ඩුව පත් කළ කමිටුව විසින්ම එය හෙළි කර ඇති බවද ඔහු පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අතුලද සිල්වා මහතා,
”ඒවා නිදහස් කිරීමේදී රේගුව තියන බලය ඉක්මවා ගිහිල්ලා, පත් කරපු කමිටුවට දීලා තියෙන බලය ඉක්මවා ගිහිල්ලා කරපු කාරණයක් විදිහට, පත් කරපු කමිටුව විසින් හඳුනාගෙන තියෙනවා.. එහෙම නම් මෙහෙම කරන්න මොන බලතලයක්ද තිබ්බේ? මේක කළාට පස්සේ ඇමතිවරයා මාධ්‍යයට ඇවිත් මේක නිවැරදි කියලා කිව්වා.. ලෝකෙ හැම වරායකම මෙහෙම වෙන්නේ කිව්වා.. මේක පිටිපස්සේ දේශපාලන බලපෑමක් තියෙනවා.. දේශපාලන අධිකාරිය සම්බන්ධයි.. මේක දූෂණක්.. මේක හෙළිදරව් කරන්න”