මහපොළ අරමුදලේ කෝටි 75ක පාඩුවක්

මහපොළ අරමුදලේ කෝටි 75ක පාඩුවක්
මහපොළ භාරකාර අරමුදල 2023 වසරේදී කොන්ත්‍රාත් පදනම මත වසර දෙකක කාල සීමාවකට නිලධාරීන් පත් කිරීම සහ මාර්ගගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු ඉන් ඉවත්වීම හේතුවෙන් අරමුදලට රුපියල් කෝටි 75කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වා වැරදිකරුවන්ට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට නිර්දේශ කර තිබේ.
මහපොළ භාරකාර අරමුදලේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා එම අරමුදලේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳවූ අවස්ථාවේදී මෙසේ නිර්දේශ ඉදිරිපත් කර ඇත.