සුහෙයිල්ගේ අවනඩුව! අධිකරණයත් නොමග යවමින් මාස 9ක් කොල්ලෙක්ව නිකරුණේ අච්චු කරලා ‘ඌප්ස් වැරැද්දක් වුණ‘ කී දෙහිවල OIC!

0
සුහෙයිල්ගේ අවනඩුව! අධිකරණයත් නොමග යවමින් මාස 9ක් කොල්ලෙක්ව නිකරුණේ අච්චු කරලා ‘ඌප්ස් වැරැද්දක් වුණ‘ කී දෙහිවල OIC!

සුහෙයිල්ගේ අවනඩුව! අධිකරණයත් නොමග යවමින් මාස 9ක් කොල්ලෙක්ව නිකරුණේ අච්චු කරලා ‘ඌප්ස් වැරැද්දක් වුණ‘ කී දෙහිවල OIC!

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අහෝසි කරන බව පොරොන්දු වී බලයට පත් වූ ආණ්ඩුවක් දිගට හරහට එම පනත අවභාවිත කරන්නේ නම් ඒ ගැන කාට කියන්නද? දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයා ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් ඇලෙව්වායැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටීමේ සිදුවීම අවසන් වූ විගස ඊළඟට අපට අසන්නට ලැබෙන්නේ මාස නවයක් තිස්සේ එම පනත අවභාවිත කරමින් බෝඩිමක් සොයා ගිය තරුණයෙක්ව අත්අඩංගුවට ගත් සිදුවීමකි.

දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අනුරාධ හේරත්ගේ මැදිහත්වීමෙන්, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මනගේගේ රැඳවුම් නියෝගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි සුහෙයිල්ගේ නඩුව ජුලි 09 වැනිදා විභාගයට ගැනුණි. මේ තරුණයා මාස නවකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ කිසිදු චෝදනාවක් නැතිවය.

ජුලි 09 වැනිදා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඉදිරියේ දෙහිවල පොලීසිය කියා තිබුණේ මේ තරුණයා පිළිබඳ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුව කිසිදු වරදක් අනාවරණය වී නොමැති බවයි. තරුණයාව ඇප මත මුදාහරින ලෙස දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා තිබුණි.

එහෙත්, එයින් පෙනී ගියේ මේ පොලිස් ස්ථානාධිපතිවරයා මාස නවයක් තිස්සේ ත්‍රස්ත පනත අවභාවිත කර ඇතිවා පමණක් නොව ඒ පනත ගැනත් දන්නේ නැති බවය.

දෙහිවල ස්ථානාධිපතිවරයා නොදන්නා කොටස අතිරේක මහේස්ත්‍රාත්වරියට කියා දෙන්නට සිදුවිය. ඇය දෙහිවල පොලීසියට පෙන්වා දී තිබුණේ මැයි 27 වැනිදා නීතිපතිවරයාට සහ පොලිස් නීති කොට්ඨාශයට උදෘත යවා ඇති බව දැනුම් දී තිබියදී තමන්ට ඇප දීමේ බලයක් නොමැති බවය. ඒ අනුව තරුණයාව ජුනි 15 දක්වා රිමාන්ඩ් කරන ලද්දේ තරුණයා පිළිබඳ නීතිපතිවරයාගෙන් සහ පොලිස් නීති කොට්ඨාශයෙන් මතය වහාම ලබා ගන්නා ලෙස නියෝග කරමිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක්ට ඇප දීමේ හැකියාවක් මහේස්ත්‍රාත්ට නොමැත. රඳවා තබාගැනීමේ බලය සම්පූර්ණයෙන් ඇත්තේ නීතිපතිවරයාට, පොලීසියට, ආරක්ෂක ඇමතිවරයාට ඇතුළු විධායකයේ කොටස්වලටය. මේ පනත භයානක වන්නේත් ඒ නිසාය.

ඒ අනුව මේ තරුණයා කිසිදු වරදක් කර නොමැති බව දෙහිවල පොලීසියේ ස්ථානාධිපතිවරයාත් කීවාට පසු මේ තරුණයාට තව දින හයක් අඩු තරමේ බන්ධනාගාරයේ දඬුවම් ලබන්නට සිදුවනු ඇත.

මේ තරුණයාව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනිදාය.

දෙහිවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් සීබීඑම් 1760 කියන පොලිස් ජීප් රථෙයන් සංචාරයේ යෙදෙමින් සිටියදී දෙහිවල මුහුදුබඩ මාර්ගයේ ෆෙයාලයින් පාර අසලදී අලුතින් ඉදිකරන ලද ගොඩනැග්ලල් අසල සිටි සැකකටයුතු කෙනෙක්ව දුටු බවත්, ඔහුව අත්අඩංගුවට ගත් බවත් පවසමින් ඔක්තෝබර් 25 වැනිදා අධිකරණයට වාර්තා කළේය. එම පුද්ගලයා මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගත්ත කෙනෙක් බව මතකයට නැගුණු බවත් ඒ අනුව නැවත පරීක්ෂා කළ බවත් ස්ථානාධිපතිවරයා කරුණු වාර්තා කර තිබුණි.

මෙම පුද්ගලයා ඔක්තෝබර් 23 වැනිදා ඊශ්‍රායල් කවුන්සිල කාර්යාලය අසලදී උප පොලිස් පරීක්ෂක නිශාන්ත කියන නිලධාරියා පරීක්ෂා කළ බවත්, ඒ ස්ථානයේදී අනන්‍යතාව තහවුරු කරන්න බැරි වුණ නිසා ඔහු ඊශ්‍රායල් කවුන්සිල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා තොරතුරු සොයා පැමිණි පුද්ගලයෙකුද යන්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරිය බවත් ස්ථානාධිපතිවරයා කියා තිබුණි.

මේ පුද්ගලයා අපරාධයක් හෝ ඊශ්‍රායල් කවුන්සිල් කාර්යාලයට අන්තවාදී ක්‍රියාවක් කිරීම සඳහා සූදානමක් හෝ ඒ සඳහා තොරතුරු සොයා බැලීම සඳහා සූදනම් බවට සැකයක් මතු වුණ නිසා ෆෙයාලයින් මාර්ගය අසලදී මොහොමඩ් රිෆායි මොහොමඩ් සුවෙයිල් කියන මේ තරුණයාව අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපති අනුරාධ වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබුණි. ඒ අනුව මේ තරුණයාගේ ඇපල් වර්ගයේ ජංගම දූරකථනයත් බාරදුන් බව දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙම තරුණයා පිළිබඳ 1979 අංක 07 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන පනතේ) 6 (1) වගන්තිය යටතේ අත්අඩංගුවට අරන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අවසරය යටතේ පැය 72ක් දෙහිවල පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරපු බව කරුණු වාර්තා කර තිබේ. පොලිස් අධිකාරීවරයාගේ නාමය වන්නේ ප්‍රසන්න බ්‍රාහ්මනගේය.

මේ විමර්ශනය සිදු කර ඇති ආකාරයද අපූරුය. පොලීසියම කියන විදියට දෙහිවල පාරක සිටියදී මේ තරුණයාව කුදලාගෙන විත් හදිසියේ විමසන්නට පටන්ගෙන තිබෙන්නේ මේ කෙනා කුමන හෝ ත්‍රස්තවාදී හෝ අන්තවාදී කණ්ඩායමක උපදෙස් අනුව වැඩ කරනවාද කියාය.

එහිදී ඔහු කරුණු වසන් කළ බව නිරීක්ෂණය වූයේයැයි පොලීසිය කියයි.

මේ කුමන විහිලුවක්ද? ඔවුන් කියන්නේ සත්‍යයක් ලෙස පිළිගත්තා වුව පාරේ යන කොල්ලෙකු කුදලාගෙන විත් ප්‍රශ්න කරද්දී ඒ කොල්ලා බියට පත් නොවන්නේද? පිළිතුරු දෙන්නේ මොනවා කියමින්ද?

පොලීසිය කෙනෙක්ව අත්අඩංගුවට ගෙන මෙවැනි ප්‍රශ්න කිරීමක් කළ යුත්තේ සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ බව දැනගෙන එහි මුදල්, ආයුධ, දූරකථන සම්බන්ධතා හෝ වෙන කුමනාකාරයෙන් හෝ සම්බන්ධයක් තිබුණේයැයි තොරතුරු ලැබුණාට පස්සේය.

ඕඅයිසී මහත්තයා ජීප් එකේ යද්දී පාර අයිනේ සිටගෙන සිටින ආකාරය වැරදියට පෙනුණත් පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකිද?

කෙසේ වෙත් ඕඅයිසීට එදා සිතී ඇත්තේ මේ තරුණයා කිසියම් විනාශකාරී ක්‍රියාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ නම් එය ජාතික ආරක්ෂා හා මහජන සාමය පවත්වාගෙන යෑමට විශේෂ තර්ජනයක් වන කරුණක් බවය.

මේ තරුණයා ඒ කිසිම ක්‍රියාවක් කර නැත්නම් එය මේ තරුණයාගේ නිදහසට විශේෂ තර්ජනයක් වන බව අනුරාධ නම් වූ මේ නිලධාරියාට සිතී නැත.

එබැවින් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති ත්‍රස්තවාදී හෝ අන්තවාදී හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ එම ක්‍රියාකාරක්මවලට සම්බන්ධ පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් කවුරුන්ද යන්නඅනාවරණය කර ගැනීම සඳහාද තවදුරටත් විමර්ශන කටයුතු සිදු කළ යුතු බව මේ නිලධාරියා කරුණු වාර්තා කර ඇත.

ඇත්තෙන්ම අනාගතයේ කරනු ඇතැයි හිතෙන වැරදිවලට දඬුවම් කිරීම යුක්තියේ කිසිදු සංකල්පයකදී සාධාරණීකරණය කළ නොහැක. එහෙත් සුහෙයිල් දැනටමත් මාස නවයක සිර දඬුවමක් ලබා ඇත්තේ දෙහිවල ඕඅයිසීට එසේ සිතුණු නිසාය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ සුහෙයිල්ගේ ජංගම දූරකථනය පරීක්ෂා කළ බවත්, එහි ඊශ්‍රායල් විරෝධී ක්‍රියාකාරකම් සහිත ඊශ්‍රායලයට පිහියෙන් අනින ඡායාරූපයක් මු වී තිබෙන බවත් ස්ථානාධිපතිවරයා කරුණු වාර්තා කර තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම පසුපස ඇති බළලා මල්ලෙන් එළියට පස්සේ ඒ කතාවෙනි.

මතක තබාගත යුතු එක් කරුණක් ඇත. මෙම ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ලියුම්කරුට පුද්ගලිකවම තහවුරු කළ හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවභාවිත කළ අවස්ථා හතරකි. මතක තබාගන්න, සිදුවීම් හතරකට වඩා තිබිය හැක, ලියුම්කරු පුද්ගලිකව ගවේෂණය කළ සිදුවීම් හතරකි. ඒ සිදුවීම් හතරම ඊශ්‍රායලයට අදාලය. එනම්, මේ ආණ්ඩුව ඊශ්‍රායලය වෙනුවෙන් මෙම පනත අවභාවිත කරන බව නොවන්නේද?

ඊශ්‍රායල් කොඩියට එරෙහි වීම ශ්‍රී ලංකාවේ ත්‍රස්ත වරදක් වුණේ කොහොමද? ඊශ්‍රායලය ගැන ස්ටිකර් ඇළවීම ශ්‍රී ලංකවේ ත්‍රස්ත වරදක් වුණේ කෙලෙසද?

එයින් පසු නොවැම්බර් 05 වැනිදා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු වාර්තා කරමින් දැනුම් දී තිබුණේ සුහෙයිල්ගේ ජංගම දූරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමරශන සඳහා ලබා දුන් බවය.

නැවත දෙසැම්බර් 19 වැනිදා මෙම නඩුව කැඳවා තිබුණි. එහිදී පොලීසියට නියෝග කරන ලද්දේ ජංගම දූරකථනයේ වාර්තා සමඟ විමර්ශනයේ උදෘත නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලෙසය.ිසැකකරු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ රැඳවුම් නියෝග ලබාගෙන ඇති නමුදු කුමන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමක්ද යන්න පිළිබඳ කරුණු වාර්තා නොකිරීම මත කර ඇති බවට සැක කරන හෝ චෝදනා කරනු ලබන වරද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පොලිසියට නියම කරමි.‘

ඒ වෙද්දීත් තරුණයාට එරෙහිව කිසිම කරුණක් තිබුණේ නැත. කිසිම චෝදනාවක් නැත. වරදක් නැත. එහෙත්, පොලීසිය ගැලවිජ්ජාවට කීවේ දූරකථන පරීක්ෂා කළ යුතු බවය. ඇපල් වර්ගයේ දූරකථනය පරීක්ෂාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවා තිබුණේද, මහේස්ත්‍රාත්වරියගේ අවසරයක් නැතිවමය.

එයින් පසු ජනවාරි 09 වැනිදා කරුණු වාර්තා කරමින් පොලීසිය කීවේ මේ තරුණයාගේ ජංගම දූරකථනය පරීක්ෂාවෙන් පසු ඔහු නීතිවිරෝධී ක්‍රියා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ගැන තොරතුරු හෙළි වුණේ නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් දැනුම් දුන් බවය. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටින බව එදින දැනුම් දී තිබුණි.

එනම්, පොලීසියේ පැත්තෙන් බැලූවද ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගෙන මාස තුනක් තිස්සේ ජනවාරි දක්වා රඳවාගෙන සිටි මේ තරුණයාව අත්අඩංගුවට ගත්තේ කිසිම පදනමක් නොමැතිව බව තහවුරු වී තිබුණි.

එහෙත් ඒ ජනවාරි මාසයේ සිට අද දක්වාම තමාගේ අත්වැරැද්දෙන් තරුණයෙකුගේ ජීවිතයට සිදු වූ බරපතල විනාසය හරිගස්වන්නට දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු නොකළේය. මෙය බරපතල වරදක් නොවන්නේද? දෙහිවල වැනි ස්ථානයක ඔහු තනතුරේ සිටින්නේ කෙලෙසද?

මෙය තවත් දරුණු වන්නේ සුහෙයිල්ගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුවය. ඔවුන් පෙන්වාදෙන්නේ මේ තරුණයාව නිකරුණේ සිර කිරීම පිණිස දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයත් නොමග යවා ඇති බවය.

ඔක්තෝබර් 23 වැනිදා අත්අඩංගුවට ගත්ත සුහෙයිල්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හැඳුනුම්ත නැති බව කියමිනි. එදා අධිකරණය සුහෙයිල්ව මුදා හැර ඇත. හවස හතරට පමණ කොළඹින් පිටත් වී රාත්‍රී අට පමණ වන විට සුහෙයිල් සහ ඔහුගේ තාත්තා මාවනැල්ලේ ගෙදරට ළඟා වී තිබුණි. එවිට දෙහිවල ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මාවනැල්ලේ නිවසට පැමිණ රැක සිට ඇත. එයට අදාල සීසීටීවී දර්ශනද ඉදිරිපත් කරමින් සුහෙයිල්ගේ නීතිඥයා සිය කතාව තහවුරු කර ඇත.
එනම් සුහෙයිල්ව මාවනැල්ලෙන් අත්අඩංගුවට ගෙන ෆෙයාලයින් පාරේදී අත්අඩංගුවට ගත් බව බොරු කියා ඇත.

සුහෙයිල්ගේ නීතිඥයා පෙන්වා දුන්නා ඔක්තෝබර් 24 වැනිදා අදාල අත්අඩංගුවට ගැනීම සිදු වූ කාලසීමාව තුළ කොළඹ නගර සීමාවේ සුහෙයිල් හිටියේ නැති බවය. එහෙම හිටියා නම්, ඒක ඔප්පු කරන්න සීසීටීවී දර්ශන ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා ඇත.
‘මේ වගේ සම්පූර්ණ බොරුවක් ගරු අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කරලා පුද්ගලයෙක්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරුණු ඉදිරිපත් කරලා රිමාන්ඩ් භාරයට පත් කිරිම ඔහුට වන දැඩි අගතිදායක තත්වයක් ස්වාමීනි.‘ කියලා සුහෙයිල්ගේ නීතිඥයා කියා තිබේ.
‘එන්න යන්න අපට තව ඔය සම්බනධයෙන් විස්තර වගයක් ගන්න තියෙනවා කියලා බොහොම සුහදශීලීව නිවසේ ඉන්න ඔහුගේ පියා, මව ඇතුළු පිරිසටත් කකතා කරලා තමයි මාවනැල්ලෙන් රාත්‍රී 9.17 – 9.30 අතර වගේ තමයි මේ පුද්ගලයාව අරගෙන එන්නේ.‘ යනුවෙන් නීතිඥයා වැඩිදුරටත් කියා ඇත.
එමෙන්ම තරුණයා වෙනුවෙන් නීතිඥයා මෙසේද අධිකරණය හමුවේ කියා තිබුණි.
‘මට සහ මගේ පවුලට මේ ගරු අධිකරණයට ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ ස්වාමීනී. කියන්න විදියකුත් නෑ. අපිට එහෙම කියන්න තරම් ආර්ථික හැකියාවකුත් නෑ. එහෙම අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කියයන්න හැකියාවකුත් නැහැ ස්වාමීනි. මා මුල් අවස්ථාවේ ගරු අධිකරණයට සැල කර සිටින්නේ මේ නඩුවට අදාලව කිසිදු කරුණක් අනාවරණය නොවීම මත ඔබතුමියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාල නොවන බව සැල කරනවා ස්වාමීනි. මේ තැනැත්තාව මුදාහැරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ මම ඉල්ලීම කරන්නේ ස්වාමීනී පොලීසියට කෙටි දිනයක් මේ සම්බන්ධයෙන් ලබාදීමක් කරලා, සම්පූර්ණයෙන් මේ තැනැත්තා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවෙන් මේ තැනැත්තා සම්බන්ධයෙන් කිසිම කරුණක් අනාවරණය නොවන්නේ නම් මේ නඩුවෙන් සම්පූර්ණයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් තමයි මගේ ඉල්ලීම වෙන්නේ ස්වාමීනි.‘

එහෙත් මහේස්ත්‍රාත්වරිය දෙසැම්බර් 19 වැනිදා දුන් නියෝගයෙහි, මේ තරුණයාව චෝදනාවලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.

‘පනතේ 7 (1) වගන්තිය මගින් දක්වා ඇත්තේ නඩු විභාගය අවසන් වන තෙක්ම ඒ තැනැත්තා රිමාන්ඩ් භාරයේ තබාගත යුතු බවත්, නඩු විභාගය අවසන්වීමට පෙර ඒ තැනැත්තා අත්අඩංගුවෙන් මුදාහැරීම නීතිපතිවරයාගේ එකඟත්වය මත සිදුවිය යුතු බවයි. මෙම පනත යටතේ අධිචෝදනාවක් මත මූලික පරීක්ෂනයකින් තොරව මහාධිකරණය ඉදිරියේ නඩු විභාගයට ගත යුතු බවට පනතේ 15 වන වගන්තියේ ප්‍රතිපාදන දක්වා ඇත. ඒ අනුව උධෘත නීතිපතිතුමා වෙත යොමු කරීමට පියවර ගැනීමට දෙහිවල පොලීසියට නියම කරන අතරම වැඩිදුරටත් මෙම අධිකරණය විසින් ගරු නීතිපතිතුමා වෙත උපදෙස් ලබාදෙන ලෙසට සුදුසු කටයුතු සඳහා ලිපියක් නිකුත් කිරීමට පියවර ගනිමි. සැකකරු මුදාහැරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරි දින තෙක් රක්ෂිත බන්ධනගාරයට පත් කරමි.‘

ඒ අනුව සුහෙයිල් ඉන් මාස ගණනක් යනතුරු නිකරුණේ සිරගතව සිටී. සුහෙයිල්ගේ කතාව පවා යළි තහවුරු කරන්නේ මේ පනතේ බිහිසුණුකමය. යළි යළිත් සිදු වන්නේ නිලධාරීන් සහ දේශපාලන තන්ත්‍රය විසින් මෙම පනත අවභාවිත කිරීමය.

– what news

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com