තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපතිධුරය හිස්වීම ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා අප්‍රසාදයෙන්! බෝපගේට දැඩි විරෝධයක්

තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපතිධුරය හිස්වීම ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා අප්‍රසාදයෙන්! බෝපගේට දැඩි විරෝධයක්
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිෂන් සභාව) සභාපති පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) දැඩි ලෙස අප්‍රසාදය පළ කර තිබෙනවා.
කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා 2025 මාර්තු මාසයේ දී ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ධුරය අද වන තෙක්ම මෙම සභාපති ධුරය පුරප්පාඩු ව පවතිනවා.
ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සුරැකීම සඳහා මෙන්ම කොමිෂන් සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සඳහා සභාපතිවරයා විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගෙන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවයන් විසින් සභාපතිවරයා පත් කිරීමේ මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්, සභාපතිවරයා පත් කිරීම සඳහා මෙසේ දීර්ඝ කාලයක් මුළුල්ලේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇති කිරීම ගැටලුකාරී තත්ත්වයක් මතු බවට පත්ව තිබෙනවා.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මගින් නියම කර ඇති පරිදි විවිධත්වය සහ විශේෂඥ දැනුම නියෝජනය කරමින් උපරිම කාර්යක්ෂමතාවෙන් කටයුතු කිරීමට කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, සභාපතිවරයාගේ වැදගත් භූමිකාව ද ඇතුළුව කොමිෂන් සභාවට සම්පූර්ණ සාමාජිකත්වය තිබීම අත්‍යවශ්‍ය වන්නේ එම හේතුව නිසාවෙන්ය.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ දූෂණ විරෝධී පද්ධතියේ ඇති වැදගත් ම ස්වාධීන මහජන ආයතනවලින් එකක් වන අතර, අභියාචනා පිළිබඳව කරුණු විභාග කිරීම, වැරදි විමර්ශනය සහ නඩු පැවරීම, වාර්තා කළමනාකරණය සහ ප්‍රගාමී හෙළිදරව් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය, ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙන්ම දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම ඇතුළු පුළුල් බලතල සහ වගකීම් කොමිෂන් සභාව සතු වනවා.
වර්තමාන RTI කොමිෂන් සභාව නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි, ඒ. එම්. නහියා සහ 2025 මැයි මාසයේ දී අලුතින් පත් කරන ලද අභියාචනාධිකරණ විශ්‍රාමික විනිසුරු ඩී. එන්. සමරකොන් යන අයගෙන් සමන්විත වන අතර, මේ අනුව පෙනී යන්නේ, සාමාජිකයින් පස් දෙනකුගෙන් සිව් දෙනකු මේ වන විට පත් කර ඇති බවයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසා සිටිනුයේ, මෑත කාලීන රජය විසින් සිදු කරනු ලැබූ පත්වීම්වල දේශපාලන පක්ෂපාතිත්වය, මිත්‍රත්වය හා බාහිර අභිලාෂ මිශ්‍රිත ප්‍රවණතා රටාවක් පිළිබිඹු කරන බවත්, මෙම කොමිෂන් සභාව නැවත බල ගැන්වීම හරහා සුදුසුකම් මත පදනම් වූ පත් කිරීම්, විනිවිදභාවය සහ මහජන විශ්වාසය නැවත මේ සඳහා ඇති වන බවත්ය. ඔවුන් අවධාරණය කර සිටින්නේ, එවැනි බැඳියාවන් වළක්වමින් ශක්තිමත් ආරක්ෂණ සහ යහපාලන ක්‍රියාවලියක් සඳහා කැපවීම තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු කඩිනමින් පත් කිරීම අත්‍යාවශ්‍ය වන බවත්ය. TISL සංවිධානය අවධාරණය කරයි.
සාමාන්‍යයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවට, විශේෂයෙන්ම සභාපති තනතුරට සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කිරීමේ දී මහජන සුබසිද්ධිය, සුපිලිපන්භාවය, විනිවිදභාවය සහ යුක්තිගරුක වීම යන ගුණාංග ඇති බව සහතික කිරීම අතිශයින් වැදගත් වනවා.
සභාපතිවරයෙකු නොමැතිව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ ධුරාවලිය ඵලදායී ලෙස සහ බාධාවකින් තොරව ඉටු කිරීමට ඇති හැකියාව සැලකිය යුතු ලෙස අඩාල වන අතර, කොමිෂන් සභාවේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය ජනතාවගේ ව්‍යවස්ථානුකූලව සහතික කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍ය වනවා.
TISL සංවිධානය විශේෂයෙන්ම අවධාරණය කරමින් පවසා සිටින්නේ, තවදුරටත් ප්‍රමාදයකින් තොරව කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීම කඩිනම් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මනා පහසුවක් සැලසෙන බවයි.
ඒ අනුව පනතෙහි සඳහන් වන ලෙස තම සමාජ හා පොදු ජීවිතයේ විශිෂ්ට හා කැපී පෙනෙන අයුරින් කටයුතු කළ, අත්දැකීම් සහිත, අදාළ ක්ෂේත්‍රයන්හි කීර්තියක් ඇති පුද්ගලයෙකු මේ සඳහා පත් කළ යුතු නමුත් මෙම ආණ්ඩුව විසින් කෝප් කමිටුව හමුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු බවට පත් වූ නිමල් බෝපගේ පත් කිරීමට සූදානමක් ඇතැයි ආරංචි මාර්ග විසින් සඳහන් කරනු ලබනවා.
මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ, “’තොරතුරු දැන ගැනීම මූලික අයිතිවාසිකමක් කිරීම සහ වෙනම පනතක් සම්මත කිරීම තමා යහපාලනය ගෙනත් අපි ලබපු එකම ජයග්‍රහණය. ඒක අපේ දීර්ඝකාලීන සටනක්. විශේෂයෙන්ම මගේ දායකත්වයත් ඒකෙ තියෙනව. මුල් කෙටුම්පතේ නොතිබිච්ච NGO ඒ පනතට යටත් කලේ මගේ මහන්සියෙන්. දේශපාලන පක්ෂ විතරයි දාගන්න බැරිවුනේ. දැන් අනුර තන්ත්‍රය යටතේ Right to Information කෙමිසම විනාශ කරන්න යනව කියල යන ඕපදූප නිසා මම මේක ලියන්නෙ. ඒකට තමන්ට පාලනය කරන්න පුලුවන් සෙවලයෝ දැම්මොත් එදාට මම නම් මේ ආණ්ඩුව වෙන මොන හොද වැඩක් කරත් කිසිම සහයෝගයක් දෙන්නෙ නැහැ.” යනුවෙනුයි.
මේ අතර නිමල් බෝපගේ එකී තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය වෙබ් අඩවියේ පළ කර තිබුණේ මෙවන් අදහසක්.
”දැනට මාස තුනක් පමණ හිස්ව ඇති තොරතුරු කොමිසමෙහි සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවාදියකුව සිටි නිලධාරියකු පත් කරන්නට යන්නේ යැයි ආරංචි පැතිර යමින් තිබේ.
2014 වසරෙහි දී රාජපක්ෂ පාලනයට සේවය කරමින් සිට 2015 දී යහපාලන ආණ්ඩුවට එක් වූ මෙම පරිපාලන සේවා නිලධාරියා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබේ.
ඔහු කලක් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ බව වෙබ් මාධ්‍යයක් වාර්තා කර තිබේ.
තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වූ අවස්ථාවෙහි දී ජනමාධ්‍ය ලේකම් ලෙස සිට ඇත්තේ ද ඔහුය.
දන්නා කියන මාධ්‍යවේදීන්ට අනුව ඔහු තොරතුරු නිදහසට එතරම් කැමැත්තක් දක්වන අයකු නොවේ.
තොරතුරු කොමිසමේ සභාපති ලෙස හිටපු තානාපතිවරයකුගේ නම ද ඉදිරිපත් වූ නමුත් ජනාධිපතිවරයා ඔහුට කැමැත්තක් දක්වා නැති බව වාර්තා වේ.
ඩිව් ගුණසේකර පාර්ලිමෙන්තුවෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහි (කෝප්) ප්‍රධානියා වූ 2014 සැප්තැම්බරයේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවක මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.
ඒ ඔහු ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කළ කාලයට අදාලව ය. ඔහු යටතේ අනිසි ලෙස වැය කළ මුදල් අයකර ගන්නා ලෙස 2014 සැප්තැම්බර් 12 වන දින කරන ලද පරීක්ෂනක් අනුව නියෝග කර තිබේ.
රුපවාහිනී සංස්ථාව විසින් කරන ලදැයි කියන ‘නිපුනතා හඩ’ නම් වැඩසටහනට රුපියල් මිලියන තුනකට වඩා වැය කරන ලද නමුත් එකම ක්‍රියාව වී ඇත්තේ පුවත්පත් දැන්වීමක් පළ කිරීම පමණක් බව එම වාර්තාවේ 62වන පිටුවේ සඳහන් වේ.
මෙවැනි දේශපාලන ලැදියාවන් සහිත දූෂණ චෝදනා එල්ල වූ අයකු තොරතුරු කොමිසමට පත් කළ හොත් කොමිසම දුර්වල වනු ඇතයි තොරතුරු අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් කණස්සල්ලට පත්ව සිටී. ජාජබ ආණ්ඩුව මේ ගැන මුනිවත රකින්නේ හොරගල් ඇහිදීමටදැයි සැක පහළ වී තිබේ.
මෙයට පෙර තොරතුරු කොමිසමේ සභාපති තනතුර දරන ලද්දේ හිටපු විනිසුරුවරුවරයකු විසිනි. එයට පෙර එහි සභාපති වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 35 වසරක පළපුරුද්දක් තිබූ අවංක නිලධාරියෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිවිල් ක්‍රියාධර ඉල්ලීම් නොසළකා මාස තුනක් පුරා තොරතුරු කොමිසමේ සභාපති තනතුර පිරවීමට පියවර ගෙන නැත. ජනාධිපති කාර්යාලයේ මේසය උඩ මෙම තනතුර පිරවීමට මාධ්‍ය සංවිධාන විසින් කරන ලද යෝජනා පුස්කමින් තිබේ.
කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ බලය අයත්වන්නේ ව්‍යවස්ථා සභාවටය. ජනාධිපතිවරයාට කළ හැක්කේ නමක් යෝජනා කිරීම පමණි.”
(උපුටා ගැනීම අවසන්)
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබූ සමයේ එවකට තොරතුරු දැන ගැනීමේ පනතට විරෝධය දක්වමින්, ප්‍රතිපාදන ලබාදීම ප්‍රතික්ෂේප කළ බෝපගේ වැනි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ වංචාවන් සඳහා වගකිවයුතු අයෙක් තොරතුරු කොමිසමේ සභාපති වශයෙන් පත් කිරීම කෙතරම් දූරදර්ශී ක්‍රියාවක් දැයි අපි ආණ්ඩුවෙන් ඇසිය යුත්තේද එ නිසාවෙන්මයි.
– what news