සිසුවියක් අපයෝජනය කොට ඝාතනය කිරිමේ වරදට මරණ දඬුවම නියමවූවන් ඉදිරිපත් කළ පෙත්සම ඉවතට

සිසුවියක් දූෂණය කළ වරදට මරණ දඬුවම නියමවූවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට
යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් දැරියක් අපයෝජනය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටින විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ඉවත දැමීය.
1996 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු තමන්ට එරෙහිව පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන්ට සමාව ප්‍රදානය කර එම දඬුවම වසර 20 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම පෙත්සම අද කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.
මෙම පෙත්සම සලකාබැලූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය විසින් මූලික විරෝධතා මතුකර තිබුණි.
එම මූලික විරෝධතාවලින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවය.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ නිසි නීතිමය කාලසීමාව ඉක්මවා යාමෙන් පසුව බවද එහිදී සඳහන් කළාය.
වැඩිදුරටත් කරුණු දක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සතු පරම අයිතියක් බවත් එවැනි සමාවක් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටීමට පෙත්සම්කරුවන්ට නීතිමය හිමිකමක් නොමැති බවත් අවධාරණය කළාය.
ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන ඒකමතිකව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 1998 වසරේ කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරුවන් කෙරුණු තමන්ට එම අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බවය.
එහෙත් රජය විසින් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වාදී තිබේ.
මේ හේතුවෙන් තමන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින බවත් ඔවුන් සිය පෙත්සම්වලින් පෙන්වාදී තිබුණි.
ඒ අනුව තමන්ට නියම කර තිබෙන දඬුවම වසර 20ක සිරදඬුවමක් බවට පරිවර්තනය කොට දඬුවම් නියමව 1998 වසරේ සිට එය ක්‍රියාත්මක විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි
ඊට අමතරව තම දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා සලකාබැලිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.