ලංකා වෛද්‍ය විද්‍යාල සභාවට නව ලේඛකාධිකාරීවරියක්

0
ලංකා වෛද්‍ය විද්‍යාල සභාවට නව ලේඛකාධිකාරීවරියක්

ලංකා වෛද්‍ය විද්‍යාල සභාවට නව ලේඛකාධිකාරීවරියක්

ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගත් අතර ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එතුමියට ප්‍රදානය කෙරිණි.

වෛද්‍ය ආඥා පනතේ විධිවිධානවලට යටත්ව මෙම පත්වීම සිදුකර ඇත.

ජෙනිෆර් පෙරේරා මහත්මිය දශක හතරකට අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් අපිරිමිත සේවාවක් සිදුකළ මහාචාර්යවරියකි. 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස කටයුතු කළ ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසද සේවය කර ඇත.

1986 වර්ෂයේදී වෛද්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන ඇය, 2001 වර්ෂයේදී මහාචාර්යවරියක් ලෙස පත් වන ලදී.

ක්ෂය රෝගය වැනි බෝවන රෝග හඳුනා ගැනීමට යොදාගන්නා නවීන අණුක ජිව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඇගේ පර්යේෂණයන් තුළ කැපී පෙනෙන අතර මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලද පර්යේෂණයන් ජනාධිපති සම්මාන රාශියකට මෙන්ම ජාතික විද්‍යා පදනමේ ඇගයීමටද පාත්‍ර වී ඇත.

1996 වසරේදී වෛද්‍ය විද්‍යා විෂය මාලාව නවමු දිශානතියකට පත් කිරීමේ පුරෝගාමියෙකු ලෙස ක්‍රියා කළ ඇය වෛද්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාද තම දායකත්වය ලබාදී ඇති අතර ජාතික විද්‍යා පදනමේ ජෛව තාක්ෂණ මෙහෙයුම් කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව මෙන් ම කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව ඇතුළු ජාතික කමිටුවලටද තම දැනුම සහ අත්දැකීම් ලබා දෙනු ඇත.

මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්ගේ විද්‍යායතනයේ මෙන් ම ජාතික විද්‍යා ආයතනයේ සාමාජිකාවක්ද වේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස ඇය ක්‍රියා කර ඇති අතර 2015 වසරේදී එහි සභාපති ධූරයටද පත් වී ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBBS සහ MD උපාධියත්, ඩන්ඩි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලොමාවත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව මෙන්ම වේල්ස් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක්ද ලබාගත් ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරියකි. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ බාහිර මහාචාර්යවරියක් මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක් ලෙසද මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය සේවය කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com