රු.15,45,50,000ක් වටිනා “කුෂ්” සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ අත්අඩංගුවට
 
                රු.15,45,50,000ක් වටිනා "කුෂ්" සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ අත්අඩංගුවට
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා, ”කුෂ්” සහ ”හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service) ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබියදී, කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද දිනයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව, කදාන, කතරගම, ගනේමුල්ල, මාළඹේ, කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කීපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14ක්, රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා (Scan Test) කිරීම් සිදු කර, ඒවා අතරින් පාර්සල් 12ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය අතර ”කුෂ්” කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 677ක් සහ ”හෂීෂ්” කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 852ක් තිබූණි.
මීට අමතරව මෙම ”කුෂ්” මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් තිබීමද විශේෂත්වයකි.
මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

 
                                            


