ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට මිලියන 176ක් ගෙවන්න නියෝග

ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට මිලියන 176ක් ගෙවන්න නියෝග
ගුවන් තොටුපළ මෘදුකාංග පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳ පෞද්ගලික තාක්ෂණ සේවා සමාගමක් සමඟ ඇති කරගත් සේවා ගිවිසුමක් ඒකපාර්ශ්විකව අවසන් කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කළ කොළඹ වාණිජ මහාධිකරණය පැමිණිලිකාර සමාගමට රුපියල් මිලියන 176ක මුදලක් සහ නෛතික පොලිය ගෙවන ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට නියෝග කළේය.
නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම මුදලට අමතරව රුපියල් මිලියන 24ක බැංකු බැඳුම්කරය සහ එයට අදාළ පොලියද ගෙවන ලෙස නියම කළේය.
ගුවන් තොටුපළ තාක්ෂණ මෙහෙයුම් පද්ධතිය විධිමත් කිරීමේ ටෙන්ඩරය ලබා ගත් අදාළ සමාගම 2012 වසරේදී ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා (එයාපෝර්ට් ඇවිඒෂන් සර්විසස් ශ්‍රී ලංකා ලිමිටඩ්) සමාගම සමඟ ගිවිසුම්ගතව තිබේ.
ටෙන්ඩර්කරු ඉන්පසු විදේශීය තාක්ෂණ සමාගම් කිහිපයක් සමඟ එක්ව අදියර තුනක් යටතේ කටයුතු සිදුකර ඇත. ඒ අනුව මෘදුකාංග මොඩියුල ස්ථාපනය, මෙහෙයුම් සඳහා අවශ්‍ය දෘඪාංග සහ මෘදුකාංග ගිවිසුම අනුව සාර්ථකව සවිකර විත්තිකාර සමාගමට භාරදී තිබේ.
ඉන්පසු පැමිණිලිකාර ඊ. ඩබ්. ඉන්ෆෝමේෂන් ලිමිටඩ් සමාගම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අවසන් අදියර නිම කිරීම සඳහා මාස 3ක අමතර කාලයක්දී ඇත. ඇමැති මණ්ඩලයද එම අමතර කාලය අනුමත කර ඇති බව පැමිණිලිකරුවන් සිය පෙත්සමේ සඳහන් කර ඇත.
විත්තිකාර සමාගමේ ක්‍රියා කලාපය නිසා එම ව්‍යපෘතිය ප්‍රමාදව ඇති බව හා දෙපාර්ශ්වයේ එකඟතාව අනුව ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කිරීම සිදුව ඇති බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය. ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.