කරන්නාගොඩගේ රිට් පෙත්සම් විභාගයෙන් විනිසුරු රණරාජා ඉවත් වෙයි
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා පසූගිය අඟහරුවාදා දින (28) ඉවත් විය.
ඒ අනුව අදාළ පෙත්සම නව අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවීමට නියම කෙරිණ.එම විනිසුරු මඬුල්ල පිළිබඳ දැනුම්දීම සඳහා පෙත්සම ජනවාරි මස 31 වැනිදා කැඳවීමට තීරණය කරන ලදි.
මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, බී. ශෂී මහේන්ද්රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ බව තීරණය කෙරිණි.
එහි දී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නිරාන් ඇන්කටෙල් මහතා පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම අවස්ථාවේ නොමැති බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.
විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මයාදුන්නේ කොරයා මහතා සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ මහාධිකරණ නඩුවේ දී විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියෝග කිහිපයක් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම් විභාගයෙන් ඒ මහතා ඉවත්වන බවය.
ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා නව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කළ යුතු බව විනිසුරු මායාදුන්නේ කොරයා මහතා සඳහන් කළේය. ඒ අනුව පෙත්සම වෙනත් දිනයක කැඳවීමට නියම කෙරිණ.
කොළඹ හා තදාසන්න ප්රදේශවල තරුණයින් එකොළොස් දෙනකු 2008 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන එම නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසද, අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි. තරුණයින් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් වසරේ ජුනි 25 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
එවකට සිටි අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදි.
එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
මෙම පෙත්සමට මැදිහත්ව කරුණු ඉදිරිපත් කිරීමට අතුරුදහන්වූ දරුවන්ගේ මව්පියන් ඉදිරිපත් කළ මැදිහත් පාර්ශ්ව පෙත්සමකට මීට පෙර අධිකරණය අවසර දුන්නේය.