අමෙරිකාවේ දකුණට දරුණු හිමකුණාටු හා බටහිරට දැඩි සුළං තත්ත්වයක් සමඟ ළැව් ගිනි
අමෙරිකාවේ දකුණෙන් පිහිටි ෆ්ලොරිඩා, මිසිසිපි ඇතුළු ප්‍රාන්ත රැසකට දරුණු හිමකුණාටුවලින් බලපෑම් එල්ල වෙද්දි බටහිරින් පිහිටි කැලිෆෝනියාවේ දැඩි සුළං තත්ත්වයක් සමඟ ළැව් ගිනි පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගින්න දරුණු අතට හැරී ඇතැයිද, එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කැලිෆෝනියා නුවර පෙරේදා අක්කර 10කින් ආරම්භ වූ බව කියන ළැව් ගින්න පැය කිහිපයක් ඇතුළත අක්කර 2,900කට වඩා බිලිගෙන ඇතැයි වාර්තා වේ.
අධික සුළං සමඟ වේගයෙන් පැතිරී යන ළැව් ගින්න පාලනය කිරීමට ලොස් ඇන්ජලීස් නුවර ගිනි නිවන හමුදාව දැඩි උත්සාහයක නිරතවන බවත්, තිස්දහසකට වැඩි ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 1,400කට වැඩි ගිනි නිවන භටයන් පිරිසක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා රැසක්ද ගින්න මැඬපැවැත්වීමට ගුවනින් සහාය දෙමින් සිටින බව වාර්තා වේ.
කැලිෆෝනියාවට නුදුරින් පැසිෆික් සාගරය සහ සාන්ත මොනිකා කඳුකරය ආසන්නයේ පිහිටි ප්‍රදේශ රැසක් මේ වනවිටත් ගින්නට බිලි වී ඇතැයිද, එහි පදිංචිකරුවන් නිවාස, දේපළ සහ රථවාහන හැරගොස් ඇතැයිද වාර්තා වේ.