ආනන්ද පාලිතට එරෙහිව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිගෙන් මිලියන 500ක එන්තරවාසියක්
සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන 500ක එන්තරවාසියක් යොමු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
හිතාමතා, සැලසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේශසගහගත ප්‍රචාරයන් සම්බන්ධයෙන් මෙලෙස වන්දි ඉල්ලා සභාපතිවරයා විසින් නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.
මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් මස 24වැනි දින නීතිඥ සම්පත් යාලේවත්ත මඟින් යවා ඇති බවද සඳහන් වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වගකීම් දැරීම සම්බන්ධයෙන් පසුගිය 2024 දෙසැම්බර්මස 13වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත විසින් අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදුකර ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී. ජේ රාජකරුණා තම නීතිඥයන් මඟින් අවධාරණයකර ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මීට පෙර සිටි සභාපති ලබා ගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබා ගන්නා බව සහ එම සංස්ථාව යටතේ ම අධ්යක්ෂ මණ්ඩල දීමනා දෙකක් ලබා ගන්නා බව මෙන්ම ඉතා නාස්තිකාර ආකාරයෙන් මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශ ආනන්ද පාලිත සිදුකර ඇතැයි එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.
දෙසැම්බර් මස 13වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත මහතා විසින් සිදු කළ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්රවෘත්ති විකාශනවලදී ප්‍රචාරයකර තිබූ බවත් ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය පුවත් පත්වලද වාර්තාකර තිබූ අතරම, එම වාර්තා නැවත රූපවාහිනී නාළිකාවල පුවත් පත් කියැවීමේ වැඩසටහන්වලදීද ප්‍රචාරය කරන ලද බවත්, සමාජ මාධ්‍ය ජාලා විසින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කර ඇති බවත් එන්තරවාසියේ දක්වා තිබේ.
මේ මඟින් තමන්ගේ කීර්ති නාමයට හානිවීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට, ලැජ්ජාවට සහ සමච්චලයට ලක් කිරීම ඇතුළු සිදුකරන ලද හානි සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙස සභාපතිවරයා නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා ඇත.
එම එන්තරවාසිය නිකුත් කර දෙසැම්බර් මස 24වැනි දින සිට දින 14ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුව හොත්, අධිකරණය ඉදිරියේ නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බවත් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.