රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic ජංගම දුරකථන යෙදුමක්

0
රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic ජංගම දුරකථන යෙදුම

රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic ජංගම දුරකථන යෙදුම

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වාදී තිබේ.

එම ජංගම දුරකථන යෙදවුම අද දින(01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි.

මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකිය.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය පවසයි.

ඒ මඟින් ඔබගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවද පොලීසිය සඳහන් කළේය.

දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607ක රථවාහන නිලධාරීන් රාජකාරි යෙදී සිටින අතර දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරේ.

මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව පොලීසිය පවසයි.

එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.

එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com