ලංකාවේ ණය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනයේ අලුත්ම වාර්තාව
වත්මන් ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මෙම මාසය අවසානය දක්වා ගැනීමට හැකි සමස්ත ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
ණය ලබා ගැනීම සම්බන්ධයෙන් එම ආයතනය කළ සමීක්ෂණයකට අනුවයි මෙම තොරතුරු හෙළිකර තිබෙන්නේ.
වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කළ නමුත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ ගත හැකි ණය ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රතිශතයක් මෙම ආණ්ඩුව ණය ලබාගෙන ඇති බවයි.
2024 ඇස්තමේන්තුවට අනුව දළ මූල්‍ය අවශ්‍යතාව සඳහා ආණ්ඩුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3670ක්.
මුදල් අමාත්‍යාංශ දත්තවලට අනුව පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා පසුගිය ආණ්ඩුව රුපියල් බිලියන 1903ක් ලබාගෙන ඇති බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා.
ඒ අනුව වත්මන් ආණ්ඩුවට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ මස අවසානය දක්වා කාලය සඳහා රුපියල් බිලියන 1766ක මුදලක් ණයට ගැනීමේ හැකියාව පවතිනවා.
මෙම කාලසීමාව සඳහා ණය ඇස්තමේන්තු යළි සලකා බැලීමේදී ගතයුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1612ක් බවට හෙළිවී තිබෙනවා.
ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය තුළ සමස්ත දේශීය ණය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371කින් පමණක් බවත්, දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659ක ණය ගැනීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.